විහාරස්ථාන 25 ක චෛත්‍ය 25 ක් ඉදිකර සසුනට පූජා කරනවා – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) –විහාරස්ථාන 25 ක චෛත්‍ය 25 ක් ඉදිකර සසුනට පූජා කිරීමෙන් අනතුරුව ඉන් නොනැවතී ලබන වසරේදී තවත් චෛත්‍ය 100 ක් ඉදිකර සසුනට පූජා කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බුදුරජාණන් වහන්සේ “ධම්මපදයේ” දේශනා කළ පරිදී “සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් දැකිය යුතු” බවත්, අපේ රටට විපත්තියක් වී තිබෙන්නේ නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත්, ගැනීම නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ඇතැමුන් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට ගමේ පන්සල දේශපාලන ආයුධයක් බවට පත්කර ගෙන ඇති බවත්, අපගේ වගකීම වචනයෙන් පමණක් බෞද්ධයන් වීම නොව බුදුදහමේ උන්නතිය වෙනුවෙන් සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් වීම බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය 23වන දිනට යෙදුනු දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ 94 වන ජන්ම දිනය හා ජාතික නිවාස දිනය නිමිත්තෙන් “සසුණට අරුණ – වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන යටතේ සෑම දිස්ත්‍රික්කයක්ම අවරණය වන පරිදී චෛත්‍ය නොමැති විහාරස්ථාන 25 ක ‍චෛත්‍ය ඉදිකර සසුනට පූජා කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිණී. අමාත්‍යවරයා විසින් අනුරාධපුර, නාච්චදූව, ශ්‍රාවස්තිපුර, ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේදී මංගල චෛත්‍යයට මුල්ගල තබමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සංකල්පයක් මත “සසුණට අරුණ – වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ මෙම චෛත්‍ය 25 ඉදිකිරීමට නියමිතය. මෙම වැඩසටහනට කිසිදු රාජ්‍ය අරමුදලක් භාවිතා නොකරන අතර පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර වලින් “සෙවණ” අරමුදල යටතේ ක්‍රියාත්මක වේ. මෙම වසර අවසන් වීමට පෙර චෛත්‍ය 25 ඉදිකර අවසන් කිරීමට නියමිතය.

චෛත්‍ය ඉදිකිරීමෙන් ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. චෛත්‍ය ඉදිකිරීමට සමගාමීව විහාරස්ථාන සංවර්ධනය කිරීමද, විහාරස්ථාන ආසන්නයේ ඉඩම් තෝරාගෙන උදා ගම්මාන ඉදිකිරීමද සිදුකෙරේ. එමගින් ගමත් – පන්සලත් අතර පවතින ඓතිහාසික සබඳතාව වැඩි දියුණු කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණ වේ.

මෙම අවස්ථාවට හේමා ප්‍රේමදාස මැතිනිය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ධීවර, ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *