සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළක් රජය දියත් කර තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

එය තාවකාලිකව රටේ එක් කොටසක් පමණක් සතුටු කරන සංවර්ධනයක් නොව රටේ සමස්ථ ජනතාවගේ හෘද සාක්ෂිය හඳුනාගත් සහ සියලු ජනතාවට ආත්මාභිමානයෙන් යුතුව දියුණු ජාතියක් ලෙස ලෝකය හමුවේ නැගීසිටීමට හැකි අයුරින් හඳුන්වාදුන් සංවර්ධන වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කෙළේ පොළොන්නරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (24) පෙරවරුවේ පොළාන්නරුවේදී එක්වෙමිනි.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉතා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බව පැවසූ ජනාධිපතිතුමා ග‍්‍රාමීය සංවර්ධනයේ පෙරළියක් සිදු කෙරෙන ගම්පෙරළිය වැඩසටහන ද ඉදිරියේදී දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවන බව කියා සිටියේය.

එමෙන්ම මෙරට ව්‍යවසායකයින් නගා සිටුවීම වෙනුවෙන් නව ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති අතර, ඒ තුළින් විරැකියාවට පිළියම් ලැබෙනවා සේම දේශීය නිෂ්පාදනයේ නව ප‍්‍රබෝධයක් ඇතිවනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාතික ආර්ථික සභාව හරහා ද රටේ ආර්ථික සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන ගැටලු විසඳීම පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශීය නිෂ්පාදන සහ අපේ දේට වැඩි අගයක් ලබාදීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවයි.

දේශීය පළතුරු ගොවියා මුහුණපා ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනය කෙරෙන පලතුරු සඳහා බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙන අතර, එම වැඩපිළිවෙළ ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

දේශීය පළතුරු සඳහා වැඩි වටිනාකමක් ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ විශේෂඥයින් පිළිගත් සහ නම් කරන සියලුම පලතුරු ගස් බලපත‍්‍ර නොමැතිව කැපීම තහනම් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *