හැකර්වරුන්ට ඇතුල්වීමට නොහැකි වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ශක්තිමත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පරිගණක හැකර්වරුන්ට ඇතුල්වීමට නොහැකි වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරන බව එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් කෙරෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව දකුණු ආසියාවෙන් ඉදිරියෙන් සිටින නමුත් වෙබ් අඩවි ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී තවමත් සාධනීය මට්ටමකට පැමිණ නැතැයි මහාචාර්යවරයා සදහන් කළේය.

ජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් හා පහසුවෙන් ලබාගැනීමට වටිනා මාධ්‍යයක් වුවද ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි නිසියාකාරව යාවත්කාලීන නොකිරීම නිසා ජනතාවට මෙන්ම ආණ්ඩුකරන ක්‍රියාවලියට ද සිදුවන්නේ අවාසියක් යැයි සමරජීව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 6 =