ආපදාවෙන් පීඩාවට පත් පවුල් වෙත පැය 72න් විසදුම් ලබා දුන්නා – ඇමති රංගේ බණ්ඩාර කියයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාසයේ ඇති වූ ආපදාවෙන් විපතට පත්වූ ජනතාව වෙත පැය 72 ක් වැනි කෙටි කාලයක් තුළ විසදුම් ලබා දීමට පියවර ගත් බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කඩිනමින් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට නිලධාරීන්ට සහය ලබා දීම තුළ මෙලෙස ප‍්‍රතිපල භුක්ති විදීමට හැකි වූ බවයි.

හපුතලේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹේතැන්න ගම්මානයේ පවුල් 65 ක් වෙත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අරඹමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. බදුල්ල වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ආපදාවට ලක්වූ පවුල් 43 ක් වෙත නිවාස ආධාර ප‍්‍රදානය කිරීමට මීට සමගාමීව පසුගියදා (23) සිදු විය.

පසුගිය මාසයේ ඇති වූ ආපදා තත්ත්වයෙන් දඹේතැන්න ගම්මානයේ තාවකාලික නිවාසවල පදිංචිව සිටි ජනතාව මහත් පීඩාවට පත් වූහ. එම තත්ත්වය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ආපදාවට ලක් වූ සියළුම පවුල් වෙත ස්ථිර නිවාස ඉදිකර දීමට පියවර ගන්නා ලෙසයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය පසුගියදා අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මේ අතර මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරයා දුම්රියෙන් ගමන් කිරීමද කැපී පෙනුනු කාරණයක් විය. උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ඇරඹූ ඔහු දුම්රියේ ගමන් ගනිමින් සිටි විදේශීය සංචාරකයින් සමගත්, මෙරට ජනතාව සමගත් සතුටු සාමීචියේ යෙදෙමින් ගමන් කළේය. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද අමාත්‍යවරයා සමග දුම්රියෙන් ගමන් කළේය.

කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *