යල කන්නයේ දී රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.

එමෙන් ම 2009 සිට 2014 දක්වා වසර 05ක කාලය තුළ වී අලෙවි මණ්ඩලය එවකට පැවති රජයේ උපදෙස් මත දුන් තීන්දු ක්‍රියාත්මක කිරීමට යාම නිසා රු.මි.7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ,පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදිය.

වි අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව අවධාරණය විය.එම කාලය තුළ සෝමාලියාවට නොමිලේ සහල් සපයීම, වී මෙ.ටො.විශාල ප්‍රමාණයක් සත්ව ආහාර වශයෙන් පුද්ගලික අංශයට කිලෝවක් රු.24 බැගින් අලෙවි කිරීම (මිල දී ගෙන තිබුණේ රු.42ට) වැනි තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම පාඩුව සිදු වු බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

වී අලෙවි මණ්ඩලය වත්මන් රජය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙල රැසක් ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා වී අලෙවි මණ්ඩලය විසින් PMB Rice නමින් සහල් සහන මිලකට අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාස 02 තුළ ක්‍රියාත්මක කරන බව කීය.

එමෙන්ම 2018 යල කන්නයේ දී වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීය.

මෙහිදී අදහස් පල කළ අමාත්‍යවරයා වී අලෙවි මණ්ලය අප රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන අතර ගොවීන්ට ස්ථාවර මිලක් යටතේ වී අලෙවි කර ගැනීමට හැකිවන පරිදි වෙළෙඳ පල තුළ තරගකාරී තත්ත්වයක් පවත්වාගෙන යාම වී අලෙවි මණ්ඩලය තුළින් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *