පරාක්‍රම සමුද්‍රයේ සුන්දරත්වය වනසන කැළි කසළ ගැටලූව ජනපතිගේ දැඩි අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුළන ආභරණය පරාක්‍රම සමුද්‍රයයි. වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මදනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.

එහෙත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.

අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.

පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා ඊයේ (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක්‍රම සමුද්‍රය අසළ මෙම කණගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.

අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලූ නිලධාරින් කැදවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලූව විසදීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඓතිහාසික උරුමයක් වූ පරාක්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසාදීම පිළිබදව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =