ආණමඩුවට ජාතික පාසල් 09 ක් – තවත් පාසල් 87 ක පහසුකම් පුළුල් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම, කරුවලග්සවැව, පුලියන්කුලම විද්‍යා චක‍්‍රවර්තී විද්‍යාලයේ අභිනවටයන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම පසුගියදා (26) සිදු කෙරිණ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 110 කි.

ළගම පාසල හොඳම පාසල යන සංකල්පය යටතේ මෙම පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. පංතිකාමර, පුස්තකාල, විද්‍යාගාර හා පරිපාලන කටයුතු සඳහා මෙහි ඉඩ වෙන්කර තිබේ.

නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණේ වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශයේ පාසල් 09 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පැවැසීය. විශාලත්වයෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශය තුළ අධ්‍යාපනයට ඇති පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ යෝජනාවකට අනුව මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉගෙනීමේ ඇත්ත උවමනාවක් මෙන්ම දක්‍ෂතාවලින්ද පිරිපුන් සිසු පරපුරක් ආණමඩුවේ සිටින බවත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින ඔවුන්ට දැන්වත් සාධාරණය ඉටුවිය යුතු බවත් ඔහු කියා සිටියේය. සියළු තොරතුරු සහිත මේ පිළිබඳ වූ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ඊට අනුමැතිය ලබා දුන් බවයි ඔහු පැහැදිලි කර සිටියේ. එමෙන්ම වැඩිම පාසල් ගණනක් සංවර්ධනය කෙරෙන එකම මැතිවරණ කොට්ඨාශය ආණමඩුව පමණක් බවද ඔහු කියා සිටියේය.

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා නවගත්තේගම, පල්ලම, සාලියවැව, බණ්ඩාරණායකපුර, මදුරංකුලිය යන මහා විද්‍යාල පළමු අදියර යටතේ ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරෙන පාසල් වේ. තවත් පාසල් 03 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දෙවන අදියර යටතේ සිදු කිරීමට නියමිත අතර එම පාසල් මොනවාද යන්න තේරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. මෙම වැඩපිළිවෙල අනුව ආණමුඩුව මැතිවරණ කොට්ඨාශයට ඇතුලත්වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 සඳහාම එක් ජාතික පාසල බැගින් ස්ථාපිත වෙයි. 2018 වසර තුළ මෙම කටයුත්ත සිදු කරන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ අතර ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආණමඩුවට අයත් පාසල් 87 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *