දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජාකෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(27) පෙරවරුවේ සිදුකෙරිණි.

අද උදෑසන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව සමරු ඵලකය නිරාවරණය කරමින් වාහල්කඩ ද්වාරය විවෘත කළ අතර අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කළේය.

මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ හෙළ රජ දවස සිට දිවයිනේ ප‍්‍රධාන ආරණ්‍ය සේනාසනයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීම මෙන්ම ගෞරවණීය, පූජනීය මෙන්ම දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන්වන පිංබර පුදබිමක් ලෙස මෙම ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 කි. පුදබිමේ නව වාහල්කඩ ද්වාරය ඉදිකිරීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා සමාගම මූල්‍ය දායකත්වය දක්වා තිබේ. ඉදිකිරීම් කටයුතු සඳහා සහය දැක්වූ පිරිස් වෙත තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමීන් වහන්සේ වෙත විහාර භූමියේ සිතුවමක් පුජා කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප‍්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “ජනපති සඳහම් යාත‍්‍රා” ධර්ම දේශනා මාලාවේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දම් සභාව ද අද පැවැත්වුණේ ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

බම්බලපිටිය සිරි වජිරාරාම විහාරාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය තී‍්‍රකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ අද දින ධර්ම කථිකයාණන් වහන්සේ වූ අතර ජනාධිපතිතුමා ද ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා එක්විය.

පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් අද සහ හෙට දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වෙන අතර අද දින බත් දන්සැල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැද පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.

මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරුණු අතර ශී‍්‍ර ලංකා අමරපුර නිකායේ උඩරට අමරපුර පාර්ශ්වයේ අනුනායක ජපානයේ ප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් පුණ්‍යානුමෝදනාව සහ විශේෂ අනුශාසනාව සිදු කළහ.

ඇලහැර, බකමුණ දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි විශාල ජනතාවක් දන්සල වෙත පැමිණ සිටී අතර ඔවුන්ට ආහාරවලින් සංග‍්‍රහ කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.

පොළොන්නරුව පුද බිමට පැමිණෙන සැදැහැවත් ජනතාව වෙනුවෙන් අද සහ හෙට දෙදින පුරා දිවා රාති‍්‍රයේ දන්සල කි‍්‍රයාත්මක වේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාලක කොලොන්නේ, සිිරිපාල ගම්ලත්, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =