ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් දූපත් වේග පන්දු ප්‍රහාරය හමුවේ ශක්තිමත් ආරක්ෂක පවුරක් ලෙසින් ධෛර්යමත් පිතිකරණයක නියැළුනු කුසල් ජනිත් හා ඩිල්රුවන් යන ‘පෙරේරා’ යුගලය ලකුණු 63ක සබඳතාවක් මගින් ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ බාබෙඩොස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත් ප්‍රථම ආසියානු රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසගත කරමිනි.

මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව 1-1ක් ලෙසින් සමව අවසන් විනි.

කැරිබියන් දූපත්හි ප්‍රථම වතාවට පැවැති දිවා රාත්‍රී තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ දින තුන හමාරකිනි. ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 6ක් පමණක් අහිමි කරගෙන තරගය ජය ගත්තේය.

කුසල් මෙන්ඩිස් හා ඩිල්රුවන් පෙරේරා සිවුවැනි දින තරගය සඳහා පිටියට පිවිසියේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 63ක් අවශ්‍යව තිබියදීය. පෙර දිනයේ තුවාල ලැබූ කුසල් ජනිත් පෙරේරා ද සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව සිටි බැවින් ඉලක්කය කරා යාම පිණිස ශ්‍රී ලංකාව සතුව කඩුලු පහක් ඉතිරිව තිබිණි.

ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කොදෙව්වන් හමුවේ තිබූ එකම බාධකය වූයේ මේ තරගමාලාවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක පිතිකරුවාව සිටි කුසල් මෙන්ඩිස් ය. එහෙත් මෙන්ඩිස් කළින්ම දවාගත් කොදෙව්වන්ට ඩිල්රුවන් හා කුසල් ජනිත් පෙරේරාගේ දිරිය පිතිහරඹය නතර කිරීමට නොහැකි විය. කුසල් ජනිත් ක්‍රීඩා කළේ විටින් විට මතුවන පෙර දිනයේ සිදුවූ තුවාලවල වේදනාව යටපත් කර ගනිමිණි.

කඩුලු 5 ට ලකුණු 81 සිට සිවු වැනි දින තරගය ඇරඹූ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරමින් පළමු ඕවරයේදීම මෙන්ඩිස් දැවී ගියේය. නොඉඳුල් ඕවරයක් යවමින් අන්තිම පන්දුවෙන් එම කඩුල්ල ලබා ගත්තේ පසුව ‘තරගයේ වීරයා’ සම්මානය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ය. ඔහුගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට දුන් තීරණයට මෙන්ඩිස් අභියෝග කළද තෙවැනි විනිසුරුගේ තීරණයද එය ම විය. ඒ අනුව හතරේ පහර 4ක්ද සමග පන්දු 44කින් ලකුණු 25ක් රැස්කර ගෙන සිටි මෙන්ඩිස් ට ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවිනි. මෙය හෝල්ඩර් දෙවැනි ඉනිමේ ලබා ගත් පස්වැනි කඩුල්ල විය.

මෙන්ඩිස් දවා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරු අග පෙල ආක්‍රමණය කිරීමට කොදෙව්වන්ට තවත් අවශ්‍යව තිබුනේ එක කඩුල්ලක් පමණි. එහෙත් එය එසේ සිදුවූයේ නැත. ඩිල්රුවන් හා කුසල් ජනිත් ඒ තීරණාත්මක කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වූහ.

කුසල් ජනිත් පෙරේරා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක්ද සමග නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය. ඩිල්රුවන් පෙරේරා පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 23ක් රැස් කළේය. තරගයේ ජයග්‍රාහී හතරේ පහර එල්ල කළේද ඩිල්රුවන් ය.

“කුසල් හා මම ක්‍රීඩා කරන්නේ එකම ක්‍රීඩා සමාජයටයි. ඒ නිසා අපි දෙන්නට දෙන්නා දන්නවා. හෙමිහිට ලකුණු එකතු කර ගන්න අපට පුළුවන් වුණා. මේ විදියට මම ‘බැට්’ කළේ ප්‍රථම වතාවටයි. ඒ නිසා අපි දෙන්නටම මේක අමාරු වුණා. තරගය ජය ගන්න හැකි වීම ගැන මට හරි සතුටුයි. අපට වැඩි වේලාවක් ‘බැට්’ කරන්න ලැබුනොත් අපට ඉලක්කයට යන්න පුළුවන් වේවි කියලා අපි හිතුවා. තණතීරුව ටිකක් අසම එකක් නිසා වැඩේ අමාරු බව අපි දැන සිටියා. ධනාත්මකව ‘බැට්’ කළොත් අපට ලකුණු ලබා ගන්න පුළුවන් අපි දැනගෙන හිටියා. ලක්මාල්ට නායකත්වය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. නායකයා ලෙසින් ඔහු දේශීය තරගාවලියක් ජය ගෙන තියෙනවා. මම ඔහුට සුභ පතනවා” යැයි ඩිල්රුවන් පෙරේරා තරගයෙන් පසුව කියා සිටියේය.

සුරංග ලක්මාල් ටෙස්ට් තරගයක ශ්‍රී ලංකාවට නායකත්වය දුන්නේ ප්‍රථම වතාවටය. ඒ තරගය ජයග්‍රහණය කිරීමට ලැබීම පිළිබඳ ඔහු ඉන්නේ ඉතාමත් සතුටිනි.

“කණ්ඩායම මෙහෙයවන්න මට මේ ලැබුනේ හොඳ අවස්ථාවක්. වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් හා දඟ පන්දු යවන්නෙක් හොඳින් ක්‍රීඩා කළා. මේ තරගාවලිය පුරාම මුළු කණ්ඩායමම ඉතාමත් මහන්සි වෙලා ක්‍රීඩා කළා” යැයි ලක්මාල් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *