නිදහස් සෞඛ්‍ය මඟින් සපයන සේවාවේ වටිනාකම රෝගීයා දැන ගැනීම ඉතා වැදගත්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 09 ක මුදලින් ඉදි කළ බාහිර රෝගී අංශයේ සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 07 වියදමින් ඉදි කළ මානසික රෝගීන්ගේ දිවා විහරණ ගොඩනැගිල්ල සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාවිවෘත කරන ලදි.

මෙම රෝහලේ ජලභීතිකා ප්‍රතිකාර ඒකකය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජලභීතිකා ප්‍රතිකාරයක් සදහා වැය කරන මුදල ඇතුලත් බිල්පතක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ද ආරම්භ විය.

මෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සදහා රජය කොපමණ මුදලක් වැය කරන්නේ ද යන්න පිළිබදව රෝගීයාට දැනගැනීම සදහායි. තවද රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි නිරික්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එය නොවැම්බර් මාසය වන විට බාර දෙන ලෙසට කොන්ත්‍රාත් සමාගමට දැනුම් දෙන ලදි.

මෙහිදී පැවැති උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මානසික රෝගීන් සදහා දිවා විහරණ මධ්‍යස්ථාන විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින රෝහල්වල ඉදිකළ යුතුයි. එවිට මානසික රෝගීන් ලෙස නොසලකා සාමාන්‍ය රෝගීන් ලෙස සළකා ප්‍රතිකාර කළ හැකියි. මානසික රෝගීන් ලෙස සමාජයෙන් කොන් වෙලා සිටින පුද්ගලයින් ඉන් මුදවා ගත යුතුයි. වර්තමානයේ වෛද්‍ය විද්‍යාව ගොඩනැගෙන්නේ තාක්ෂණය මතයි. වෛද්‍ය විද්‍යාව අද වෙනස් වී තිබෙනවා. රෝගයක රෝග ලක්ෂණ වලටත් ප්‍රතිකාර කරනවා. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ලෝකයට හදුන්වා දී ඇති බැවින් ඉදිරි වසර 10 තුල විප්ලවකාරී වෙනසකට අපි සුදානම් විය යුතුයි. විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලන සැම දෙයක්ම ලබාදිය යුතුයි. නවීන තාක්ෂණය මුදල් නැහැ කියා ප්‍රමාද කරන්න බැහැ. වසර දෙක තුනක් ඇතුලත වෙනස් වෙනවා. උපකරණ ලබාදීම තුලින් විශේෂඥ වෛද්‍යවරුන් විදේශගතවීමත් අවම වෙනවා. සෞඛ්‍ය සේවාව සදහා වසර 2020 වනවිට දල දේශීය නිෂ්පානයෙන් සියයට 05 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව සාර්ථක බව අමාත්‍ය මණ්ඩලයම පිළිගන්නවා. පසුගිය කාලයේ ඇතැම් සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබුනේ මිනිසුන් හූරාගෙන කෑමටයි.”

“ජලභීතිකා ප්‍රතිකාර අංශය මගින් බිල්පතක් නිකුත් කිරිම ඉතා වැදගත්. එමගින් රෝගියාගෙන් මුදල් අය නොකළත් රජය විසින් ප්‍රතිකාර සදහා වැය කළ මුදල රෝගීයා දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මම මෙම වැඩපිළිවෙල ආරම්භ කරන ලෙසට අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නත් තවමත් ප්‍රමාදයි. සපයන සේවාවේ වටිනාකම රෝගියා දැනගත යුතුයි. හැබැයි අපි මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරන්න පුලුවන්. මෙහිදී පෞද්ගලීකරණයක් සිදු වන්නේ නැහැ. සටන් පාඨ වලට කොටු වූ පක්ෂ දෙකක් තිබුනා. හැබැයි ඡන්ද නැහැ. සටන් පාඨ වලට හරිම ජනප්‍රියයි.”

තවද දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඵලදායිතා සම්මාන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම, රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන, විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + seven =