වීරතුංග ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපකර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රජය සමයේ මිග් ගුවන්යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 7.833 ක මහජන මුදල් අවභාවිත කිරිමට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුව අද(29) කැදවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙන ලදි.

නඩුව කැඳවූ අවස්ථාවේ දී උදයංග වීරතුංග මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ, ඔහු මෙරට අධිකරණය හමුවේ පෙනි සිටිමට බලාපොරොත්තුවෙන් සහ කැමැත්තෙන් සිටින බවයි.

ඒ අනූව, අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේ, උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කළ නොහැකි බවය. උදයංග වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද්මාන් බන්ධනාගාරයේ සිරකරුවෙකු ලෙස රඳවා ඇති බව, ඔහු පෙන්වා දෙන ලදි.

ඒ අනූව, උදයංග වීරතුංග මහතා කළ යුත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නිදහස් වීමයි. එසේ නිදහස් වූ පසු ඔහු සිරකරුවෙකු බැවින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් එහි ආරක්ෂක අංශ සමග එක්ව උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන ඒම ක්‍රමවේදය බවද රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා. එසේ නොමැතිව ඔහුට නිදහසේ ගමන් කිරිම කළ නොහැකි බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිළධාරින් 04 දෙනෙකුගේ බැංකු ගිණුම් 40ක විස්තර ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබේ. එම නියෝගය බැංකු 7කට බලපැවැත්වෙන ලෙස නිකුත්කර තිබේ.

උදයංග වීරතුංග මහතා සතු බැංකු ගිණුම් අත්හිටවා තිබිය දී එක් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි තුන හමාරක මුදලක් ලබාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිණුමකට යවා ඇති බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙන ලදි. ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට ද අධිකරණයේ අවසරය ලබා දී තිබේ.

නඩුව යළි අගෝස්තු මස 24 වැනිදා කැඳවීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − two =