නැවත රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නැවතත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරම තිබෙන නිසා සීඝ්‍ර මෙන්ම කෙටි කාලීන සංවර්ධනයක් රටේ ඇතිකිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර, හන්තාන තේ කෞතුකාගාරය ඉදිරිපිට දී 2018 ජූලි මස 01 දින වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය සම්පත් මහජන නියෝජිතයින්ට ලබාදෙමින් රජය දැනට ආරම්භ කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමය ඉදිරි මාස 18 තුළ තවත් වේගවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) දින මහනුවරදී ප්‍රකාශ කළේය.

කඩා වැටී තිබූ ආර්ථිකය වත්මන් රජය අනුගමනය කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ස්ථාවරත්වයකට ගෙන ඒමට හැකිවූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ පසුබිම තුල දැන් ජනතාවට තවත් සහන ලබාදිය හැකි බව සිහිපත් කළේය.

වතු කම්කරු ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ඊයේ (01) මහනුවර හන්තාන තේ කෞතුකාගාරය ඉදිරිපිට පැවති උත්සව සභාව අමතමින් මේ බව සදහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් මෙසේ ද කීය.

අද දිනයේ අපි හරිතභුමි වැඩසටහනේ පළමු පියවර ආරම්භ කළා. මෙම වතුකරයේ වැඩකරන ජනතාවට භුමියක අයිතිය ලබාදීම එහි අරමුණයි. මෙහි දෙවන අදියර වන ග්‍රාමීය ජනතාවට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් ලබාදීමේ වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ අපි ආරම්භ කරනවා. වතුකරයේ ජනතාව තම රාජකාරියේ වැඩකටයුතු කළත් ඔවුන්ට කිසි දිනක ඉඩමක අයිතිය හිමිවුනේ නැහැ. මෙහි ගම්මානවල ජීවත්වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාවටත් වතුකරය නිසා තම ඉඩකඩම් අහිමි වුණා. ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ ඔබට ඉඩම් අයිතිය නැවතත් හිමි වෙනවා.

ඒවගේම දිගම්බරම් ඇමතිතුමා ජනතාවට ඉඩම් ලබාදීම පමණක් නොව වතුකරය තුළ ජන සමූහයක් ඇතිකිරීමට, ජනතාවගේ ජීවිත දියුණු කිරීමට කටයුතු කරනවා. මේ ප්‍රදේශවල ජනාවාස ඇතිකිරීම එතුමා භාරගෙන තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා ලකී ජයවර්ධන මැතිතුමාත් කටයුතු කරමින් සිටිනවා.

දයා ගමගේ අමාත්‍යතුමා විසින් කුරුදු වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට ආධාර කරනවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශවල කොකෝවා වගා කිරීමේ වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. වර්ථමානයේ අපේ රටේ චොක්ලට් ආදි නිෂ්පාදන සඳහා කොකෝවා පිටරටින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාගා කරනවා නම් එම කොකෝවා ඇස්වන්න අපේ ජනතාවගෙන් මිලදී ගැනීමට හැකි බව චොක්ලට් නිෂ්පාදනය කරන සමාගම් මේ වන විට අපට දන්වා තිබෙනවා. එම වැඩසටහන් දෙකම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට අමතරව වෙනත් බෝග වගා කිරීමට ද ඔබට හැකියාව තිබෙනවා. ඒවා හරහා ආදායම් මාර්ග ලබාගැනීමටත් ඔබට හැකියි.

අපේ ආණ්ඩුව ආරම්භ වූ අවධියේ සිටම ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා මහනුවර සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. එතුමා මේ ප්‍රදේශයේ මාර්ග පද්ධති පන්සියයක් පමණ ඉදිකර දී තිබෙනවා. පන්සල්, ගම්මාන ආදිය සඳහා එතුමා විශාල වශයෙන් මාර්ග පද්ධති සකස් කර දී තිබෙනවා. අතීතයේ කන්ද උඩරට විශාල මාර්ග ප්‍රමානයක් තිබුණේ නැහැ. නමුත් දැන් නුවරට අවශ්‍ය මහා මාර්ග ඉදිකර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවීම හරහා පළමු වතාවට මහනුවරට අධිවේගි මාර්ගයක් ලැබෙනවා. ඉදිරි වසර පහක් ගතවීමට පෙර එහි වැඩකටයුතු අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

කොළඹ සිට නුවර දක්වා මාර්ගය ඉදිකළ බාන්ස් සහ ඩෝසන් දෙදෙනාට ඒ සඳහා වසර දහයක් පමණ ගතවුණා. නමුත් කෙටි කාලයකින් මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හරහා කොළඹ නුවර එකට එක්වෙනවා. ඒ හරහා විශාල නාගරික තීරුවක් නිර්මාණය වෙනවා. අප මෙය සැලසුම් කළේ 2002 වසරේදීයි. නමුත් ආණ්ඩුව මාරුවීමත් සමඟ එම වැඩකටයුතු ඉටුකිරීමට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් නැවතත් අප දැන් බලයට පත්ව සිටින නිසා ඔබ වෙනුවෙන් එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අපි සූදානම්. රටේ ප්‍රධාන නගරයක් වන මහනුවරට අධිවේගී මාර්ගයක් ඉදි නොකර රටේ අනෙක් ප්‍රදේශ වෙත අධිවේගී මාර්ග ඉදිකරන ආකාරය පසුගිය පාලන සමයේදී අප දුටුවා. නමුත් අපේ රජය යටතේ මෙම මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීමෙන් පසුව කොළඹසිට නුවර දක්වා ගමනා ගමනයට තිබූ දුෂ්කරතාව ඉවත්වී යනවා.

කටුනායක, පොතුහැර, කුරුණෑගල ආදී ප්‍රදේශවල විශාල දියුණුවක් ඇතිවෙනවා. නාගරික තීරුවක් ඇති වන බව මම පවසන්නේ එම නිසයි. ඒ අනුව මහනුවර නගරයත් ඉදිරියේදී දියුණු වෙනවා. සංචාරකයන් වෙනුවෙන් කෞතුකාගාරයක්, බෝගම්බර සංස්කෘතික මධ්‍යස්ථානයක්, හෝටල් කිහිපයක් ඉදිරියේදී මහනුවර ඉදිවෙනවා. එවැනි සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවන අතරම ජලනල ව්‍යාපෘතියක් ද මහනුවර නගරය තුල අපි ක්‍රියාත්මක කරනවා.

අපේ ආණ්ඩුව යටතේ ඉටුවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය හැදින්විය හැකියි. අපේ මන්ත්‍රීවරුන්ට ඉදිරි මාස 18ක කාලය තුල රටේ සීඝ්‍ර සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදීී තිබෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකරමින්, රටේ මුදල් පරිහරණය වැඩි කරමින්, රටේ ආර්ථික දියුණුවක් ඇතිකරමින් අප මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යනවා. අප භාරගත්තේ කඩා වැටුණු ආර්ථිකයක්. ලබාගත් ණය මුදල් වෙනුවෙන් අපට ණය මුදල හෝ වාරිකයවත් ගෙවීමට නොහැකිව තිබුණා. එම නිසා ඔවුන් මැතිවරණයක් පැවැත්වුවා. එහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගනිමින් අපි ජයග්‍රහණය කළා. අප පාලන බලය ලබාගත්තා. 2016 වන විට ණය ගෙවීමට හැකි ශක්තිය අප ඇති කර ගත්තා. එයත් ඉතා අපහසු කාර්යයක් වුණා. අපට වැට් වැඩිකිරීමට ඒ වෙනුවෙන් ජනතාවගෙන් බැණුම් ඇසීමටත් සිදුවුණා. ණය ගෙවීමේ අපහසුම කාලය පසුගිය වසර ලෙස හැදින්විය හැකියි. ගංවතුර, නියඟය ආදියටත් මුහුණදීමට සිදුවුණා. නියඟය නිසා වියලි කලාපයේ ඇතිවූ අපහසුතා ඔබ වහන්සේලා හොදින් දන්නවා.

බඩු මිල ඉහල ගියා. පොල් මිල ඉහල ගියා. ජීවන වියදම වැඩිවුණා. ආණ්ඩුවක් ලෙස ප්‍රාදේශීය සභා ඡන්දයේදී එහි විපාක විදින්නට අපට සිදුවුණා. නමුත් අපි ජනතාවට බොරු කිව්වේ නැහැ. අපහසු කාලයේ එයට මුහුණ දුන්නා. දැන් නැවතත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරම තිබෙන නිසා සීඝ්‍ර මෙන්ම කෙටි කාලීන සංවර්ධනයක් රටේ ඇති කිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැන් එම අවස්ථාව ලැබී තිබෙන බව කිව යුතුයි.

ජනාධිපතිතුමා විසින් ග්‍රාම ශක්ති වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යතුමා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කළා. වතුකරයේ ජනාවාස ඇතිකිරීමේ වැඩසටහන දිගම්බර ඇමතිතුමා විසින් ආරම්භ කර තිබෙනවා. ස්වාමිනාදන් ඇමතිතුමා යටතේ උතුරේ නිවාස පනස්දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපට හැකිවුණා. නිවාස ණය ලබාදීම, මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ඉදිකර ගැනීමට මිලියන පහට නොවැඩි ණය මුදල් ලබාදීමටත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කටයුතු කරනවා. චම්පික රණවක ඇමතිතුමාගේ මහ නගර අමාත්‍යාංශය යටතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ඉදිකිරීම සඳහා බිලියන 20ක මුදලක් වෙන් කර තිබෙනවා. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමා යටතේ ඖෂධ මිල පහත හෙලීමටත් අපට හැකිවුණා.

මේ සියලූ වැඩකටයුතු අප ඉටුකළේ රට වැඩිම ණය මුදලක් ගෙවන අවධියකයි. අප අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා ආර්ථිකයේ ස්ථාවරභාරයක් ඇතිවුණා. එම නිසා ජනතාවට දැන් තවත් සහන ලබාදිය හැකියි. ගම්පෙරළිය ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ලංකා වැඩසටහන් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ණය ලබාදීම සිදු කෙරෙනවා. සංවර්ධන මුදල් සංස්ථාව හරහා විශාල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මුදල් ලබාදීම සිදුකරනවා. මේ ආකාරයට අප රට සංවර්ධනය වෙනුවෙන් සූදානම් කරමින් සිටිනවා. ණය බරින් මිරිකෙමින් අපහසුවෙන් තිබූ රට අප දැන් ඉදිරියට ගෙන යමින් සිටිනවා. ඉදිරි මාස 18 ක කාලය තුල ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය සම්පත් අපි අපේ මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා.

අපේ මහජන නියෝජිතයන් මෙම සංවර්ධන වැඩකටයුතු ඉටුකරන අතරම පන්සල්, පල්ලි, දේවස්ථාන සඳහා ලබාදිය යුතු ආධාර උපකාර ද අප අමතක කරන්නේ නැහැ. ඒ වගේම විදේශ ආයෝජන හරහා රටේ විශාල දියුණුවක් ඇති කිරීමත් අප දැන් ආරම්භ කර තිබෙනවා. රටේ අපහසු කාලයක් තිබුණත් අප හොදින් එයට මුහුණ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් ආරක්ෂා කළා. ඒ අනුව මේ වන විට අපි රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. ඉදිරි මාස 18 තුල එම සංවර්ධනය තවත් දීර්ඝ කරනවා.

එවගේම සමෘද්ධි මුදල් වැඩිකිරීම, රජයේ රැකියා පුරප්පාඩු පිරවීම ආදිය ඉටුකරමින් ඉදිරි මස 18 තුල විශාල වැඩකොටසක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා මහනුවර දියුණු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. එම වැඩකටයුතු සඳහා මහනුවර ප්‍රදේශවාසීන් ලෙස ඔබේත් සහයෝගය ලබාදෙන මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *