චිත්‍ර ශිල්පියා රැක ගන්න අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත් මහතාගේ කලා දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) උදෑසන කොළඹ, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එස්.එච්. සරත් මහතා සහ එම මහත්මිය, කලාකීර්ති එඩ්වින් ආරියදාස යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත් මහතාගේ කලා දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් කොළඹ, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් 2018.07.03 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

එස්. එච්. සරත් මහතාගේ සිත්තර ජීවිතයට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් අද මෙම ප්‍රදර්ශනය පවත්වනවා. මෙතුමා අපේ රටේ බිහිවූ නව නිර්මාණශීලි තරුණ චිත්‍ර ශිල්පියෙක්. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී තරුණයන්ට අතදීම අපේ යුතුකමක් ලෙස සලකමින් තරුණ කටයුතු අමාත්‍යාංශය ආරම්භ කළා. එවක එස්. එච්. සරත් මහතා තරුණ කලාකරුවන් අතර කැපී පෙනෙන පුද්ගලයා වුණා. එම නිසා ඔහුට අනුග්‍රහය ලබාදීමට අපට අවස්ථාව සැලසුනා.

සරත් මහතා විටින් විට අප හමුවූ අතර එහිදි මා හැකි සෑම අවස්ථාවකදීම ඔහුට රජයේ අනුග්‍රහය ලබාදී තිබෙනවා. එතුමා ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. අද මෙම අවස්ථාවේ දක්නට ලැබෙන සිංහල, දෙමළ, ඉංගි්‍රසි හා විවිධ යුරෝපීය භාෂා වලින් සමන්විත පුවත්පත්වල ඒ බව සදහන් වී තිබෙනවා. අද අප සිටින යුගය එදාට වඩා වෙනස්. අද ජංගම දුරකථනය, ඇප්, අයිපෑඩ් ආදී වශයෙන් මීට පෙර නොතිබුණු තාක්ෂණය චිත්‍ර ශිල්පීන් සඳහා ලැබී තිබෙනවා. අපි අලූත් යුගයක, අලූත් ආකාරයට භාෂාව ද භාවිත කරනවා. ඒ සියලූ වෙනස් වීම් හමුවේ මෙම චිත්‍ර කලාව අපි ආරක්ෂා කළ යුතු වෙනවා. සරත් ගේ චිත්‍ර එදා අලූත් චිත්‍ර ලෙස හැදින්වූ අතර අද සම්ප්‍රදායික චිත්‍ර ලෙස හදුන්වනවා.

කලාව කාලයක් සමඟ වෙනස් වෙනවා. ඒ පරිවර්තනය නතර කළ නොහැකියි. ඒ හැම යුගයකම සිටින දක්ෂ කලාකරුවන්ට මෙන්ම නැගී එන කලාකරුවන්ට ද අත දෙන ලෙස මම තරුණ සේවා සභාවටත්, සාගල රත්නායක ඇමතිතුමාටත් දැනුම් දී තිබෙනවා. එස්. එච්. සරත් මහතාට තවදුරටත් මේ සියළු අත්දැකීම් සමඟ නිර්මාණකරණයේ යෙදීමට අවස්ථාව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *