නෙදර්ලන්තයෙන් ලක්‍ෂ දෙකකට පිපාසය නිවන ජල ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – මාවනැල්ල, අරනායක සහ රඹුක්කන යන මැතිවරණ කොට්ඨාසවල ජීවත්වන ලක්‍ෂ දෙකක ජනතාවගේ පානීය ජල ප්‍රශ්ණය විසදීම සදහා නෙදර්ලන්ත රජය විසින් සහන පොලී ආධාර මත ලබා දෙන ජල ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ(03) මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

මේ ගිවිසුම් අත්සන් කිරීම සදහා අමාත්‍ය කබීර් හෂිම්, මංගල සමරවීර, රාවුෆ් හකීම් යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ජුවෑන් ඩෝර්නිවර්ඩ් මහත්මිය ද ජලසම්පාදන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා ද එක් විය.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ පසුගිය රජය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන බවට මැතිවරණ කාලවලදී බොරු පොරොන්දු ලබා දෙමින් හත් අට වතාවක් මුල් ගල් තැබූ බවයි. කෙසේ නමුත් මෙම ජල ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කර ගැනීඹට තමාට සහාය වූ අග්‍රාමාත්‍යතුමාට, මංගල සමරවීර සහ රවුෆ් හකීම් ඇමතිවරුන්ට ද සහන පොලී පදනම යටතේ ණය නිකුත් කළ නෙදර්ලන්ත රජයට ද අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.

මෙහිදී නෙදර්ලන්ත තානාපති ජුවෑන් ඩෝර්නිවර්ඩ් මහත්මිය කියා සිටියේ ජල ව්‍යෘපෘතිය වෙනුවෙන් මූල්‍යාධාර සමග තාක්‍ෂණික පසුකම් ලබා දීමට ද නෙදර්ලන්ත රජය පසුබට නොවන බවය. දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව ගැන නෙදර්ලන්තය සතුටු වන බව ද ඇය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *