ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –“නිව්යෝක් ටයිම්ස්“ වාර්තාව පදනම් කරගනිමින්, ඒකාබද්ධ විපක්‍ෂයේ හා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස්, මෙරට මාධ්‍යවේදීන්ට එල්ල කරන තර්ජන දැඩි ලෙස හෙළා දකින බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටි.

නිවේදනයක් මගින් ඔහු අවධාරණය කරන්නේ “නිව්යෝක් ටයිම්ස්“ චෝදනා පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග කිසිදු බියකින් හා පාක්‍ෂික බවකින් තොරව අනුගමනය කළ යුතු බවයි.

ජනමාධ්‍යවේදීන්ට දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන තර්ජනාත්මක ක්‍රියාකාරකම් පිළිබඳව තමාගේ දැඩි අවධානය යොමු වී ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස එය උපරිම වශයෙන් හෙළා දකින බව නිවේදනයේ සඳහන් ය.

“නිව්යෝක් ටයිම්ස්“ වාර්තාවට පදනම් වී ඇත්තේ රාජපක්‍ෂ යුගයේ රුපියල් බිලියන ගණනක ප්‍රශ්නකාරී ගනුදෙනු පිළිබඳවයි. “නිව්යෝක් ටයිම්ස්“ වාර්තාවට සහය දැක්වූ මාධ්‍යවේදීන්ට සිදුකර ඇත්තේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමයි. ඒ නිසා ඔවුන්ට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් වහා නැවැත්විය යුතුයි. ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ නායකත්වය, මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන සම්බන්ධ වගකීම සම්පුර්ණයෙන් බාරගත යුතු අතර, එවැනි ක්‍රියා ඉදිරියට සිදුවීම ද වළක්වාගත යුතු බව මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

වත්මන් රජය බලයට පත්වූයේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම හා පැවති රජය අනුගමනය කළ ප්‍රචණ්ඩකාරී තත්වයන් අවසන් කිරීමේ ප්‍රතිඥාව සහිතව බව අමාත්‍යවරයා සිහිපත් කරයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අඳුරු පාලනය පැවති යුගයේ වැඩිම මාධ්‍යවේදීන්ට පිරිසක් මරා දැමීම හෝ අතුරුදන් කිරීම් සිදුවූ අතර පහරදීම්, තර්ජනය කිරීම් හා මාධ්‍ය නිදහසට බාධා කිරීම් හා මාධ්‍ය ආයතන ගිනිතැබීම් ද වාර්තා විය. සත්‍ය හෙළි කිරීම හා නිසි කරුණු වාර්තා කිරීම නිසා ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගත් එම අඳුරු යුගයට ආපසු පිවිසීමට අදහසක් නොමැති බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

දැන් පවතින්නේ සිවිල් නිදහස හා මූලික අයිතිවාසිකම්වලට ගරු කරන රජයකි. ඉතා බරපතල සාහසික විවේචන මෙන්ම වත්මන් රජය ඉලක්ක කරගනිමින් දරුණුතම ප්‍රහාරය එල්ල කරන්නේ ඇතැම් ජනමාධ්‍ය ආයතනයි. එවැනි තත්වයක් හමුවේ වුවද, සියලුම මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ රාජකාරී ඉටු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් කියා සිටි.

“නිව්යෝක් ටයිම්ස්“ වාර්තාව සම්බන්ධයෙන් චීන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කළ අතර එහි දැක්වෙන්නේ වරාය සංවර්ධන ක්‍ෂෙත්‍රයේ චීන-ශ්‍රී ලංකා සහයෝගිතාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට මෙන්ම කලාපීය සම්බන්ධතාවට ද බෙහෙවින් වැදගත් බවයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක, ලූ කෑං බෙයිජිං නුවර පසුගියදා රාත්‍රී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව සඳහන් කළේය.

චීන රජය, නිව්යෝක් ටයිම්ස් ලිපියේ චීනය සම්බන්ධයෙන් පවතින චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරයි. වර්තමානයේ ශ්‍රී ලංකාව සහ චීනය සෑම අංශයකින්ම සහයෝගිතාව වර්ධනය කරගනිමින් සිටින බව, විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කෑං ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 12 =