සිසුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ නිලධාරීන්ට වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර 24 පුරා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන්ට සහන ලබා දීමට එරෙහිව ඊනියා වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

විවිධ බලපෑම් හමුවේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අද දින සේවයට වාර්තා කළ සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත තම ස්තුතිය ප්‍රකාශ කළ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල දී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් තම වෘත්තිය බලතල යොදාගනිමින් පාසල් වසා දමන ලෙස විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ අවස්ථා සහ පාසල් නොපැමිණෙන ලෙස සිසු දරුවන්ට දැනුම් දුන් අවස්ථා සම්බන්ධව ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ දේශපාලන අතපෙවීම් මත අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් රැසක් පීඩනයකට ලක් වූ සමයක ඔවුන්ගේ සාධාරණ ගැටළුවලට විසඳුම් ලබාදීම රජයේ වගකීම බව අවධාරණය කළ අමාත්‍යවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් සහ සාධාරණ අයුරින් ඉටු කොට ඇති වටපිටාවක ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීමේ මෙහෙයුමක නිරත වී ඇති බව ද පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කරමින් ස්ථාපිත කර ඇති රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ද අනුමැතියට යටත්ව ප්‍රජාතන්ත්‍රවාදී යුක්ති මූලධර්ම වලට ප්‍රමුඛතාව ලබාදෙමින් පසුගිය කාලයේ දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය පාලන සමයේ විවිධාකාර පළිගැනීම්වලට හා අසාධාරණයන්ට ලක් වූ තමන්ගේම ක්ෂේත්‍රයේ තමන්ගේම වෘත්තීයේ නිලධාරීන්ට හිමි අයිතිවාසිකමක් ලබාදීමට විධිමත් හා සාධාරණ ක්‍රමවේදයක් අනුව රජය පියවර ගන්නා විට ඊට එරෙහිවීම පිළිකුල් සහගත බව ද පෙන්වා දෙන අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ අසාධාරණයට ලක් වූ පිරිස් වෙත සාධාරණය ඉටු කර දීම අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බව ද අවධාරණය කළේය. එමෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *