අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳ උද්ගත වූ ගැටලුව විසඳීමට එවන් ගැටලුවකදී මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළේ අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් සමග අද (06) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති හමුවකට එක්වෙමිනි.

විවිධ දේශපාලන හස්තයන් මෙම ගැටලුව පිටුපස සිට දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළද සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ නිසි අවධානය යොමු කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ අනාගතය පිළිබඳ නොසිතා සිටියා නම් 2015 වසරේදීම එම ආයතනය වසා දමා ඇඟ බේරා ගැනීමට තමාට හැකියාව තිබුණු බව සඳහන් කළ ජනාධිපතිතුමා චෝදනා, අපහාස, සහ විරෝධතා මැද වසර 03 ක් පමණ අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් එම ගැටලුවට නිසි විසඳුමක් ලබාදීමට උත්සාහ ගත්තේ එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ද කියා සිටියේය.

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය සියලු මානව සහ භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරනවා සේම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ද ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය රජයක් ලෙස පිළිගෙන තිබෙන බව පැවසු ජනාධිපතිතුමා බෝඞ්ලෑලිවලට සීමා නොවී පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබඳව ද නිසි අවධානය යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළේය.

කොතලාවල වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කෙරුණු සයිටම් ආයතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම වෛද්‍ය පීඨයේ ඉඩ පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉහළ නැංවීම පිළිබඳව විධිමත් පියවර ඉදිරියේදී ගන්නා බවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *