තායිලන්ත ගුහාවේ සිරවු ළමුන් බේරා ගැනීමට නිශ්චිත සැලැස්මක් නැතිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටින ළමා පාපන්දු කණ්ඩායම බේරා ගැනීම සඳහා නිශ්චිත සැලැස්මක් සැකසීමට ජිවිතාරක්‍ෂක කණ්ඩායම් අපොහොසත් වී ඇත. ඔවුන්ගේ මූලික ඉලක්කය ගුහාවේ පිරී ඇති ජලය හැකිතාක් ඉවත්කර, ළමුන් ඉවතට ගැනීම ය.

එහෙත් වැසි සහිත කාලගුණය ඊට බාධා පැමිණවීමේ ලකුණු පෙන්නුම් කර ඇත.

දින 9ක් පුරා අතුරුදන්ව සිටි ළමා පාපන්දු ක්‍රීඩකයන් දොළොස් දෙනා සහ පුහුණුකරු, බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් පසුගිය සඳුදා රාත්‍රී සොයාගනු ලැබීය. ඔවුන්ට අවශ්‍ය ආහාර, උණුසුම් පොරෝනා හා සෙසු සැපයුම් මේ වනවිට ලබාදී තිබේ.

ගුහාව තුළ දුරකථන සම්බන්ධතා ස්ථාපනය කර, ළමුන් සමඟ නිරන්තර සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට ද සැලසුම් කෙරේ. දෙදිනක් තුළ ඔවුන් පිටතට ගැනීමට අපොහොසත් වුවහොත් එළැඹෙන අධික වැසි සමය නිසා, ජිවිත ආරක්‍ෂක මෙහෙයුම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඊට ප්‍රථම ගුහාවේ ජලය හැකිතාක් පිටතට පොම්ප කර, ළමුන් බේරා ගැනීමට උත්සහ දරනවා. මේ වනවිට ගුහාවෙන් ජලය ලීටර මිලියන 128ක් ඉවත්කර ඇති බව වාර්තා වේ. ඒ සමඟම ජිවිතාරක්‍ෂකයන්ට තවත් කිලෝ මීටර එකහමාරක් ඇවිද යාමට ඉඩ සළසා ගැනීමට හැකිවිය.

දැනට කිමිදුම්කරුවෙකුට ළමුන් සිටින ස්ථානයට ගොස් ආපසු පැමිණිමට පැය 11ක් ගත වේ.

යම් හෙයකින් වැසි ඇදහැලීමට ප්‍රථම දරුවන් බේරා ගැනීමට නොහැකි වුවහොත්, ඔවුනට තවත් මාස 4ක් පමණ ගුහාවේ ගත කිරීමට සිදුවනු ඇති බව මෙහෙයුම් කණ්ඩායම් ප්‍රකාශ කරනු ලැබේ.

එහෙත්, තෙතමනය හා අහිතකර වායු සංයුතියක් සහිත ගුහාවේ කුඩා ළමුන් පිරිසකට එතරම් කාලයක්ගත කළ හැකි ද යන්න බරපතල ප්‍රශ්නයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *