එ.ජා.ප. මහලේකම් ගෙන් හිටපු ජනාධිපතිට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරනු ලබයි.

උතුරු නැගෙනහිර පුදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් මහත්ම මහත්මීන් සමඟ පැවැති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් තමන් සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

නීති අධිපත්‍ය අධිකරණ පද්ධතියට පවා මැදිහත් වී අත පෙවීම් සිදු කරමින් අපරාධ යට ගසා ගැනීමේ උත්සාහයන් කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ අධිකරණ පද්ධතියක් වහා ස්ථාපිත කොට තරාතිරම නොබලා කඩිනමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අරමුදලකට චීන සමාගමක් විසින් කෝටි ගණනක මුදල් ලබා දී ඇති බව හෙළි වී ඇතැයි ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කර ගෙන ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි වංචාවන් දූෂණ සහ අපරාධයන් වසා ගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය වපුරමින් කටයුතු කරන කණ්ඩායම්වලට ජනතාව විසින් ඉදිරියේ දී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *