ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීමට අවශ්‍ය සැලැස්ම සකස් කර අවසන් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරණ පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමග එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා – සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.

සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් (Hon S. Iswaran) මහතා ද මෙහිදී අදහස් දක්වීය.

සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේ පැවති මේ සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීමේ වැදගතකම ඉතා හොදින් අවබෝධ කර ගෙන ඇති බැවින්, ආර්ථික, මුල්යේ හා සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. නව තාක්ෂකණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් බිහිකරලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයේ සියළු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමග ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසෙන බව ද පැවසීය.

දේශීය වශයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ වික්රබමසිංහ මහතා, කොළඹ – මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9 ක ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ හැකි ආයෝජන පිළිබඳව ද පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =