හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන, චකින්දාරාම පාර ප්‍රදේශයේදී යුධ හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධීයට අදාළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මස 25 වනදා උදෑසන රත්මලාන චකින්දාරාම පාර ප්‍රදේශයේ නිවසක සිටි හමුදා කෝප්‍රල්වරයෙකුට ත්‍රීරෝද රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මිරිහාන අපරාධ විමර්ශන ඒකකය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් තුළ තිබී ගිනි අවියක්, එම උණ්ඩ 14ක් සහ මැගසින් එකක් ද සොයාගෙන තිබේ.

ප්‍රේම සම්බන්ධතාවක් මෙම වෙඩි තැබීමේ සිද්ධියට හේතු වී ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =