ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන ත්‍රි’මල සැලසුම ඇරඹුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවැති අතීත අවධියේ දී මෙරට බටහිර හා නැගෙනහිර වරායන් ගණනාවක් පැවැති බවත් වර්තමානයේ ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවදානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේ ක්‍රියාත්මක වන හම්බන්තොට වරායටත් සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ට බාර දීම නිමිත්තෙන් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයේ දී අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදි අගමැතිවරයා මෙසේද කිය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවැති අතීත අවධියේ ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වරායන් ගණනාවක් පැවැතුණා. වර්තමානයේත් ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත හම්බන්තොට වරායටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

ඒ වගේම ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය ආදී රටවලට ද වැදගත්කමක් හිමි වෙනවා. සුවිස් ඇළ හරහා සිංගප්පූරුව දක්වා ගමන් කරන නෞකා සඳහා අවශ්‍ය සේවා සපයමින් ඉන් ආර්ථිකමය වාසි ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 2050 පමණ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත ජනගහනය බිලියන 3 කට සමාන වෙනවා. එවිට එහි විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කළ යුතුයි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට පැමිණියේ මුළු රටම දියුණු කිරීමටයි. එහිදී අප මූලිකවම අවධානය යොමු කළේ බස්නාහිර සංවර්ධනයටයි. රටේ දියුණුව රදා පවතින්නේ බස්නාහිර සංවර්ධනය මතයි. එමෙන්ම රටේ මුහුදුබඩ තීරුව සංවර්ධනය කිරීමටත්, කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර, ඒ හරහා එම ප්‍රදේශය දියුණු කිරීමටත් අපි වැඩ කටයුතු ආරම්භ කළා. මෙම සංවර්ධන වැඩ කටයුතු සිදු කරන අතරතුර අප රටේ අනෙකුත් ප්‍රදේශ අමතක කෙළේ නැහැ. මේ අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යත චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින්, සුබානා ජුරොං ආයතනයේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *