ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජංගම හෝ ස්ථාවර දුරකථන මගින් ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කරවා ගැනීම සඳහා SLTB EXPRESS සේවාව හඳුන්දී තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මගීන්ට නිවසේ හෝ කාර්යාලයේ සිටම ආසන වෙන් කර ගැනීමට හැකි බවත් ඒ වගේම මේ නව තාක්ෂණික ක්‍රවේදය තුළින් තැරැව්කරුවන්ගේ සහයක් නැතුව කාලය ඉතිරි කර ගනිමින් තදබදයකින් තොරව මගීන්ට ආසනයක් වෙන් කර ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ක්‍රමය තුළින් ශ්‍රී ලංගමයටත් ඉතාමත් පහසු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේදී SLTBEXPRESS ක්‍රමය තුළින් ශ්‍රී ලංගම බස්රථවල ආසන වෙන් කරවා ගැනීම නවීන තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා පැවති උත්සවයේදී අමාත්‍යවරයා අද (16) මේ බව සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම දුරකථන හා පරිගණක ඔස්සේ SLTB ExpressApp (යෙදුම) භාවිතා කරමින් ඕනෑම අයකුට තම නිවසේ සිට කොළඹ-පිටකොටුව මධ්‍යම බස්නැවතුම් පොළින් ආරම්භ වන දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව බස්රථය තුළ තමන් කැමති ආසනයක් වෙන් කරවා ගැනීමට ද මගී ජනතාවට හැකි වනු ඇත.

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංගමය මෙම සේවාව ආරම්භ කර ඇත්තේ දෛනිකව මගී ජනතාව පිට කොටුව මධ්‍යම බස්නැවතුමට පැමිණ තම ආසන වෙන්කර ගැනීමට වැය කරන කාලය හා ශ්‍රමය නාස්තිවීම සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ තුළින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා වන කවුළු නඩත්තු කිරීම මහා සේවක ගෙවීම් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට වැය වන පරිපාලනමය වියදම් අවම කරගැනීමට හැකියාව ද ලැබෙනු ඇත.

Express 418 පුද්ගලික සමාගම හා ඒකාබද්ධව ලංකා ගමනාගමන මණ්ඩලය මෙම දත්ත පද්ධතිය සකසා ඇති අතර, තමන් ජංගම දුරකථනයෙන් SLTB ExpressApp හරහාවෙන් කරගත් ආසනයේ අංකය බස් රථයේ කොන්දොස්තරවරයාට පෙන්වීමෙන් අනතුරුව අදාළ ආසනය තමාට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා මගීයාට ඊ-ටිකට්පතක් ද නිකුත් කරනු ඇත.

මෙහි දෙවැනි අදියර යටතේ කොළඹින් පිට ප්‍රධාන නගර අතර ගමන් ගන්නා දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කිරීමේ හැකියාවද ඉදිරියේදී ලැබෙනු ඇත.

මෙම ආසන වෙන් කර ගැනීමේදී ගමනට අදාළ ගාස්තුවට අමතරව රුපියල් 80 වැඩි පුර මුදලක් මගියාට ගෙවීමට සිදු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය තවදුරටත් ප්‍රගුණ කිරීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා පුද්ගලික අංශය සඳහාද මේ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.

එය ජාතික ගමනාගමන කොමිසන් සභාව හරහා කළ හැකි බවත් මැරයන් දාගෙන බස් ධාවනය කළ කාලය අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *