එළවළු මිල ඉදිරි සති දෙක තුළ පහළට

(කොළඹ, ලංකාපුවත්) – දැනට ඉහළ මට්ටමක පවතින එළවළු මිල ගණන්, ඉදිරි සති දෙක ඇතුළත අඩු වනු ඇතැයි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසයි.

සෑම වසරකම මේ කාලසීමාවේදී එළවළු මිල ඉහළයාම සාමාන්‍ය තත්වයකි. වෙළෙඳ පොළට වැඩි වශයෙන් අස්වනු ලැබීමත් සමඟ මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවනු ඇත.

මාස කිහිපයක සිට එළවළු මිල ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අයහපත් කාලගුණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනි.

බෝංචි, කැරට්, මාළු මිරිස්, දඹල, අමුමිරිස්, මුරුංගා ආදියෙහි මිල තවමත් ඇත්තේ ඉහළ අගයක ය. මේ තත්වය ලබන 25 වැනිදා තෙක් පැවතිය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය පවසයි.

මේ අතර සහල් සහ පොල් මිල ඉකුත් මාසයට සාපේක්‍ෂව අඩුවී තිබේ. පොල් ගෙඩියක මිල රුපියල් 10ත්, 15ත් අතර මිලකින් පහළ ගොස් ඇත.

නාඩු සහල් කිලෝවක මිල රුපියල් 7කින් අඩුවී තිබේ.

මහකන්නයේ අස්වනු ලැබීමත් සමඟ එම මිල තවදුරටත් පහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු මිල තරමක ඉහළ අගයක් ගෙන ඇත්තේ රුපියල් 40ක බද්දක් පැනවීම හේතුවෙනි. කෙසේ වුවද ලබන මාසයේ සිට දේශීය ලොකු ලුනූ සහ අර්තාපල් අස්වනු ලැබීමත් සමඟ එම මිල ගණන් ද අඩුවිය හැකිය.

මේ දිනවල බිත්තර මිල ද ඉහළ ගොස් තිබෙනවා. එය, අසාමාන්‍ය තත්වයක් වන අතර, කෘත්‍රිම හිඟයක් මවා පාමින් මිල ඉහළ නංවා ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. මේ තත්වය තවදුරටත් පැවතුණහොත් රජය මැදිහත්වී මිල පහළ දැමීමට ක්‍රියා කරනු ඇතැයි ද එම ආයතනය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *