ශීතාගාර පහසුකම් ඇති පළමු ත්‍රිරෝද රථය හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පසු අස්වනු හානිය අවම කරගැනීම සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු ත්‍රිරෝද රථය රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඒ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදීය. මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සුර්ය බලයෙන් ක්‍රියාත්මක වේ මේ නිසා විදුලිය වෙනුවෙන් වැයවන විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය.

ඊට අමතරව මෙම ත්‍රිරෝධරථයෙන් එකවර කිරි ලීටර් දහසක් හෝ මස් , එළවළු ,මාළු වැනි නිෂ්පාදන එකවර කිලෝ ග්‍රෑම් 300 රැගෙන යාමේ පහසුකම් වලින් සමන්විතය.

අයහපත් කාලගුණය පවතින සුර්ය බලය නිසි ලෙස නොලැබෙන දින වලට ශීතාගාර පහසුකම් ලබාගැනීම සදහා අඛණ්ඩ බල ශක්තිය ලබාගැනීමේ පහසුකම් වලින් මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය [ චාර්ජින් ] කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විතය .පරිසර හිතකාමී මෙම ත්‍රිරෝධ රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ධාවනය කල හැකිය.

රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන් මෙම ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු රථය ධාවනය කරමින් අමාත්‍යංශය භුමියේ සංචාරය කල අතර එහි ඇති පහසුකම් හා ජනතාවට ලැබෙන සේවාව මෙන්ම පැවැත්ම පිලිබදව එකිනෙක සොයා බලමින් එය තවදුරටත් පලදායි ලෙස වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබදවද අදාළ නිෂ්පාදන සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කරක ලදි.

එහිදී දිලිප් වෙදආරච්චි මහතා අදාළ නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කලේ අවම මුදලකට මෙම ත්‍රිරෝධ රථය ජනතාවට ලබාගැනීමට පහසුකම් සලසන ලෙසයි.

කිරි ප්‍රවාහනය සදහා ශිතාගාරය තුල ගබඩා පහසුකම් සැලසීම පිලිබදව මෙන්ම ශිතාගාරය කොටස් වශයෙන් වෙන්කර එළවළු හෝ මාළු වැනි නිෂ්පාදන ප්‍රවාහනයට මෙන්ම අලෙවියට පහසුකම් සැලසීම වෙනුවෙන් අවධානය යොමුකරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නියෝජිතයින්ට දැනුම් දුන්නේය.

ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධන කඩිනම් වැඩපිළිවෙල යටතේ රජය ක්‍රියාත්මක කරන“ ගම් පෙරලිය ” වැඩසටහන යටතේ ග්‍රාමීය ජනතාවගේ නිෂ්පාදන ඉහල ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් පසු අස්වනු හානිය වලක්වා ගනිමින් සිය නිෂ්පාදන ප්‍රවාහනය සදහා මෙම ත්‍රිරෝද රථය හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් එහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *