මොරගහ කන්ද කළු ගඟ රන් දියවර මංගල්‍යය 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය ලබන 23වනදා සිදු කෙරේ.

දිවයිනේ පළාත් හතරක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසදුම් ලැබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ ජලාශයේ දියවර රැදවුම් උත්සවය ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.

මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණය. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ පෝෂණය කෙරෙනු ඇත.

මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරේ. එම වාරි ඇළේ උමං මාර්ගය කිලෝමීටර් 28කි. මහ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තය. මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද ලබන 23වනදා ඇරඹේ.

රුපියල් කෝටි විසිතුන් දහසක් යොදවමින් ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ධීවර ක්ෂේත්‍රයේ මෙන්ම විදුලිබල නිෂ්පාදනයේ ද නව වෙනසක් සිදුවනු ඇත. එමෙන්ම මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වේ.

කළු ගඟ ජලාශය ඉදිකිරීමත් සමග ලග්ගල පල්ලේගම ජනතාවට වෙනත් නගරයක පදිංචි කරවීමේ කටයුතු දැන් සිදුවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවූ සියලු දෙනාට පහසුකම් සහිත නව නිවාස ඉදිකිරීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − 5 =