දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මීට වඩා දායක විය යුතුයි – ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දු ශ්‍රී ලංකා දාශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තරග හතරට බින්දුවක් ලෙස දිනා ගැනීමට ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයද ජයගනිමිනි.

තරගය 24වැනිදා කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 189ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරය ජය ගත්තේ කිසිවකුත් නොදැවී වේ.
ඉන්දීය කණ්ඩායමේ සුනිල් නරේන් ලකුණු 107ක් හා අජේ රෙඩ්ඩි ලකුණු 66ක් ලබා ගත්තේය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි.

උත්සවය අමතමින් ලෝක දෘශාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති ජී. කේ. මොහාන්තිස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සාධනීය මැදිහත් වීමක් ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු විය යුතු බවයි.

“ලෝකයේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව දියුණුව වී තිබෙන්නේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලවල මැදිහත් වීමෙන්. ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඊට උදාහරණ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ එම රටවල පාලක මණ්ඩල යටතේයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය අවශ්‍ය වනවා. ඒ අනුව දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයත් එකට එක් කළ යුතු බව මම සිතනවා. එය සිදු කිරීමට රජයට උපදේශයක් ලබා දෙන්නැයි මම අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිරන්තර සහයෝගය නැත්නම් දෘශ්‍යාබාධිත ක්‍රිකට්වලට ඉදිරියට යන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෙල්ලම් කළ විදිහ බොහෝම සිත්ගන්නා සුලුයි….” යි ශ්‍රී ලංකා දාශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ජය සංකේත ප්‍රදානයට එක් වෙමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඉතා දුක් මහන්සියෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉහළ ප්‍රගතියකට පැමිණීම ගැන තමන් හදවතින්ම සතුටු වන බවයි.

“ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වුණා. එය හොඳ ප්‍රවණාවක්. ඒ වගේම ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති මගෙන් ඉල්ලා සිටියා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සඳහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙස. නමුත් මම උපදෙස් දුන්නොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සහාය දීම නතර කරාවි. ඒ නිසා කටවහ ගෙන ඉන්න එක හොඳයි. නමුත් මම දෘශාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ නිතරම සිට ගනිමින් ඔවුනට ශක්තියක් වෙනවා. අපිට අනාගතයේදී තවත් හොඳ ප්‍රතිඵල ඔවුන්ගෙන් ලබා ගැනීමට හැකිවේවි…”යි අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

තරග සංචාරයේ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තේ තරග 2ට 1 ක් ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *