නගර 200ක දුම්වැටි අලෙවිය නතර කිරීමේ සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා මේවන විට දුම්වැටි අලෙවිය නතර කළ නගර 100 ක් පමණ තිබෙන බවත් එම නගර සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය, පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 83 වන වාර්ෂික සැසිවාරය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත රාගම පාරේ“රෝස්ගාර්ඩින්”හෝටලයේ දී ඊයේ (29) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.

“දුම්වැටි සහ දුම්කොළ පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එම ක්‍රියාමාර්ගවලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල සහයෝගයක් ලබාදෙනවා. මගේ ප්‍රතිපත්තිය තමයි ජනතාව දුම් බීමෙන් තුරන් කිරීම. එම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දක්වන සහයෝගය අගය කළ යුතුයි. දුම්වැටි අලෙවිය ප්‍රවර්ධනය කරන්න එපා. ඇතැම් නගර වල මතින් සහ දුමෙන් තොර නගරයක් කියලා දැන්වීම් ප්‍රදර්ශණය කර තිබෙනවා. එවැනි තත්ත්වයන් නිර්මාණය කිරීමට කැප වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්.දිවයින පුරා දුම්වැටි අලෙවිය නතර කළ නගර 100 ක් පමණ තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මීළඟ සංවත්සරය වන විට එම නගර සංඛ්‍යාව 200 දක්වා වැඩිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

නව ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් අලෙවි වීම අඩු වීඇතැයි දුම්කොළ සමාගමේ වාර්තා සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ලෝක සෞඛ්‍ය සංවිධානයද අගය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරෝධී ප්‍රඥප්තියට අනුව එවැනි ක්‍රියාමාර්ගගත් එකම රට ශ්‍රී ලංකාවයි. ඇතැමුන් අහනවා යහ පාලනය සැප ද කියා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන්කළ සේවය සැපයි. හැබැයි හිටපු ජනාධිපතිවරයාට නම් සැප නැති වෙයි. රෝහල්වල ස්ටෙන්ස්,අක්ෂි කාච නොමැති වුවහොත් මාධ්‍ය තුලින් පළ වෙනවා. නොමිලේ රෝගීන්ට ලබාදීම පිළිබදවකථා කරන්නේ නැහැ. අපේ රටේ මාධ්‍ය එහෙමයි. රෝගීන්ට ලබාදෙන අක්ෂි කාච, ස්ටෙන්ස් බාලවර්ගයේ ඒවා ආනයනය කරන්නේ නැහැ. ඇමරිකාවෙන් තමයි ආනයනය කරන්නේ. මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කළා. නමුත් එය පරාජයට පත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් සියලුම වෘත්තීය සමිති සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දක්වනවා. සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරනවා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වසර එකහමාරක පුහුණූ කාලය වසර 02 දක්වා වැඩි කරනවා. රුහුණු විශ්ව විද්‍යාලය සමගඒකාබද්ධව ඔබලා වෙනුවෙන් උපාධි පීඨයක් ආරම්භ කරනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට යතුරු පැදි 750 ක් ලබාදීම සදහා අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. ඔබගේ සේවාවේ නියුතු නිලධාරින්ගේ සංඛ්‍යාව 5000දක්වා වැඩි කරමින් අභිමානවත් සේවාවක් ඇති කිරීමට කටයුතු කරනවා.”

මෙහිදී විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සමරු තිළිණ පිරිනමන ලදි. සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කළ සේවාව අගය කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර තිළිණයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඇතුලු වෘත්තීය සමිති නායකයින් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *