උසස් පෙළ උපකාරක පංති සියල්ල හෙට තහනම්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස 01වනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

එසේම මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මස 01වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් වේ.

ඒ අනුව එම විභාගවලට අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම හා බෙදාහැරිම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම තහනම් කර ඇත.

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *