යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04 දා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව 2018 යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබෙන නිසා එම ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම ප්‍රථමයෙන්ම ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බව එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය.

එම තීරණයට අනුව මෙවර යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම් කටයුතු අගොස්තු මස 04 දින පෙරවරු 10.00ට අම්පාර දිස්ත්‍රික්කයේ උහන , කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, එම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇත.

මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙන අතර, ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4ක ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වුවද, මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,20,000කි. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රජය රු. මි. 4900ක මුදලක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි අනුමත කරනු ලැබීය.

ගොවීන්ගේ වී අස්වනු මිල දී ගැනීම පමණක් නොව එමවී වලින් සකස් කරන ලද සහල් PMB Riceවෙළෙඳ නාමය යටතේ සතොස ඇතුළු වෙළෙඳ සැල්වලට සහන මිලකට ජනතාවට ලබා දීමට ද කටයුතු යොදා ඇත. මෙවැනි පියවරක් වී අලෙවි මණ්ඩලය විසින් අනුගමනය කරන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.

වී වල අඩංගු වියයුතු සියයට 14 නොඉක්මවන තෙත බර නිසා ඇතැම් ගොවීන්ට තම අස්වනු වී අලෙවි මණ්ඩලයට විකුණා ගැනීමට නොහැකි අවස්ථා වාර්තා වන බැවින් ලබන මහ කන්නයේ අස්වනු නෙලා ගන්නා විට වී වියලීමේ යන්ත්‍ර පද්ධතියක් වී ගබඩා ආශ්‍රිතව ස්ථාපිත කිරීමට ද වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේදී වීගෙන ඒමට අවශ්‍ය පොලි පැක් මලු ගොවීන්ට නොමිලේ ලබාදෙන අතර ගොවීන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මින් පෙර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ලිපි අවශ්‍ය වුවද මෙවර එසේ අවශ්‍ය නොවේ. නාඩු කි.ග්‍රෑ. 01 ක් රු. 38 ක් සහ සම්බා වී කි.ග්‍රෑ. 01 ක් රු. 41 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. වී අස්වැන්න මිලදී ගැනීමේ දී ඇතිවන තදබදය මගහරවා ගැනීමට ළඟම පිහිටි වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලින් කල්තියා දිනය වෙන්කරගන්නා ලෙසද වීඅලෙවිමණ්ඩලයේ සභාපතිනීතිඥඋපාලිමොහොට්ටි මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *