ක්‍රීඩා ව්‍යායාම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේදී

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා වෛද්‍යවරු, භෞත චිකිත්සකයින්, පුහුණුකරුවන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ව්‍යායාම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ලබන සැප්තැම්බර් මස 6වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා විදේශිකයන් 400ක් හා මෙරටින් දහසකට වැඩි පිරිසක් සහභාගීවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉදිරි ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමේදී නූතන තාක්ෂණය හා දැනුම භාවිතා කරන්නේ කෙසේද යන්න මේ සමුළුවේදී අවබෝධ වනු ඇති බවයි.

නවීන තාක්ෂණය තුළින් ක්‍රීඩා ජයග්‍රහණ සොයද්දී ඒ සඳහා මූලික අවබෝධය ලබාදීම අත්‍යාවශ්‍ය බැවින් මේ ජාත්‍යන්තර සමුළුව සංවිධාන කළ බව ඒ මහතා පැවැසීය. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය හා පෞද්ගලික අනුග්‍රහාකයන්ගේ සහයෝගය ලැබී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා පැවැසූවේ රුපියල් මිලියන 30ක් මේ කාලෝචිත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කොට ඇති බවයි. මේ සඳහා විදේශීය රටවල විද්වතුන් මෙන්ම දේශකයන් කිහිපදෙනකු සහභාගීවන බැවින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉහළට ගැනීම සඳහා පිටුබලයක් ලැබෙනු ඇති බව පද්මසිරි මහතාගේ විශ්වාසයවී තිබේ.

ක්‍රීඩා විද්‍යාතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සඟරාවේ ප්‍රමිතීන්ට අනුගතව හා ලාංඡන අනුග්‍රාහකත්වය සහිතව ශ්‍රී ලංකාවේදී පළමු වරට මෙවැනි සමුළුවක් සංවිධාන කර ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.

“අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් ලබාගත් ජයග්‍රහණ සියල්ල ස්වභාවික ජවය හා ජානමය කුසලතාවන් සහිතව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ තත්ත්වය වර්ධනය කර ගැනීමට නම් විද්‍යාත්මක දැනුම අප ලබාගත යුතුයි. මේ සමුළුවේ අරමුණ වන්නේ ක්‍රීඩාවට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සම්පාදනය කිරීමයි. අනෙක් කරුණ බෝ නොවන රෝග පාලනයට විද්‍යාත්මක පසුබිමක් යටතේ අවශ්‍ය ව්‍යායෑම් පිළිබඳ අධ්‍යයනය කිරීමයි” එදිරිසිංහ මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + seventeen =