පරිසරය වැරදි ලෙස භාවිත කිරීමෙන් ලොවම පීඩා විඳිනවා- පරිසර නියෝජ්‍ය අමාත්‍ය

(කොළඹ, ලංකාපුවත්) – පරිසරය වැරදි ලෙස භාවිත කිරීම සහ නිවැරදිව කළමනාකරණය නොකිරීම හේතුවෙන් අද ලොවම පීඩා විඳින බව රිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ පරිසර දිනයට සමගාමීව කොළඹ, විශාකා විද්‍යාලයේ ඉකුත් 30වනදා පැවති ස්වර්ණ වර්ණ පදක්කම් පිරිනැමීමේ විද්‍යාලයීය පරිසර උත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පල කළ නියෝජ්‍ය අමාත්‍යවරයා,

අපි විද්‍යාවෙන් දියුණු වුණා කිව්වට කොච්චර දියුණු වුණාද? කියලා අපට හිතා ගන්න බැහැ.මොකද? එදා අවුරුදු ගණනාවකට පෙර එදා මිනිහෙකුගේ ආයු කාලය අවුරුදු එකසිය විස්සයි.කෙනෙක් අවුරුදු එකසිය විස්සක් ජීවත් වෙනවා.අපේ පොත්පත්වල තියෙනවා.අද වෙනකොට ඒ ආයු කාලය අසූවයි,අසූ පහයි,හැත්තැවයි.කොච්චර දියුණු වුණා කිව්වට,ලෝකේ දියුණු වෙලා,රටවල් දියුණු වෙලා නවීන තාක්ෂණය ඇවිල්ලා කියලා කිව්වට මිනිසාගේ ආයු කාලය එන්න එන්නම කොට වෙලා තියෙනවා.

ඒ නිසා අපි දකිනවා මේ සංවර්ධනයත් එක්ක අපේ ජීවිතේ ප්‍රශ්න කම්කටොලු සෞඛ්‍ය ගැටළු,ආයු කාලය වගේ සැප පහසුකම් අපි කෙටි කාලීනව ළඟා කර ගත්තට, සමස්තයක් ලෙස ගත් විට අපි පැරදිලා තියෙනවා කියලා අපිට දැනෙනවා. මේ දුවලා පුතාලට කියන්න අවශ්‍යයි ඒ නිසා තමයි මෙවර පරිසර දිනයේ තේමාව වෙලා තිබුණේ පොලිතින් සහ ප්ලාස්ටික් ගැන.ලොව පරිසර දිනයේ තේමාව වෙලා තිබුණේද ප්ලාස්ටික් පොලිතින් දුරලමු කියලයි.පොලිතින් ප්ලාස්ටික් දැන් වසංගතයක් බවට පත් වෙලා.අද පොලිතින් භාවිතය කොයි තරම්ද? කිව්වොත් අද ලන්ච් ශීට් භාවිතය දක්වා පරිවර්තනය වෙලා.අද පරිසරයට හානිදායක ලන්ච් ශීට් වෙනුවට පරිසරය හානියට පත් නොවන දිරාපත් වන ලන්ච් ශීට් වෙළෙඳ පොළට ඇවිත් තියෙනවා.නමුත් ඇතැමුන් දිරාපත් වන ලන්ච් ශීට් විකුණන අතරේ දිරාපත් නොවන ලන්ච් ශීට් තවමත් විකුණනවා.මොකද? දිරාපත් වන ලන්ච් ශීට් වල මිළ වැඩයි,දිරා පත් නොවන ලන්ච් ශීට් වල මිළ අඩුයි වෙළෙඳ පොළේ. ඒ නිසා රුපියල් ශතවලට තරග කරන ලෝකයේ අද පරිසරය තාවකාලිකව අමතක කරලා සදාකාලික ප්‍රශ්න වලට මුහුණ දෙනවා.

එදා පරිසරය අනුව තමයි ගොවිතැන සිදු කළේ.ගමේ ඉන්න මිනිස්සු දන්නවා මේ කාලෙට පායන්නේ.මේ කාලෙට වහින්නේ කියලා.ඒ නිසා එදා ගොවිතැන සිදු කළේ ස්වාභාවික වාසස් අනුවයි.නමුත් අද ස්වාභාවික වැස්සක් ගැන කාටවත් තීරණය කරන්න පුලුවන්ද?.රටට වැටෙන වතුර ප්‍රමාණයේ මිලිමීටර ප්‍රමාණය එකයි.නමුත් අද පරිසරය විනාශ වෙලා නිසා වැටෙන වතුර ටික පාලනයකින් තොරව එක පාරටම වැටිලා ගංවතුරක් බවට පත් වෙනවා.මේ වැඩියෙන් වැහැලා නොවෙයි.වසරකට වහින්නේ එකම ගාණකට.හැබැයි වැහි නැති කාලයේ වතුර බොන්නවත් නැති නියඟයක් බවට පත් වෙනවා.මේ එකිනෙක විපර්යාසවලට සදාකාලිකව අපි මුහුණ දීලා තියෙන්නේ තාවකාලිකව ඒ ගැන සිතන්නේ නැති නිසා.

ලෝකේ වසරකට ටොන් මිලියන තුන්සිය පනහක් ප්ලාස්ටික් නිෂ්පාදනය කරනවා.වසරකට ටොන් කෝටි තිස් පහක් ප්ලාස්ටික් නිර්මාණය කරනවා.මේ අනුව 2050 වෙද්දී මෙය තුන් ගුණයකින් වැඩි වනු ඇති.ඒ වගේම දැනට නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වලින් අපි සියයට නවයයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ.ඉන් තවත් සියයට දොළහක් අපි පරිසර හිතකාමී ලෙස විනාශ කරනවා.ඉතිරි සියයට අටක් අපි මුහුදට දානවා.මේ අනුව ඉතිරි සියයට හැටක ප්‍රතිශතය අපි නිසි ක්‍රමවේදයක් නොමැතිව පරිසරයට බැහැර කරනවා.ඒ වගේම අපි විසි කරන කසල වලින් සියයට දහයක්ම ප්ලාස්ටික්.

මේ අතර වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන දහතුනක් සාගරයට එකතු කරනවා.එමෙන්ම සෑම විනාඩියකටම වරක් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ දහයක් අපි මිළදී ගන්නවා.ඒ වගේම වසරකට මුහුදු ජීවීන් ලක්ෂයක් ප්ලාස්ටික් නිසා මිය යනවා.අපි පාවිච්චි කරන ප්ලාස්ටික් සියයට පනහක්ම එකවරයි අපි භාවිත කරන්නේ.යෝගට් කෝප්ප උදාහරණයි.එක වරයි පාවිච්චි කරන්නේ.ඒවා නැවත භාවිත කරන්න බැහැ.මේ නිසා තමයි ලෝකෙටම අද ප්ලාස්ටික් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.මේ අනුව තමයි ප්ලාස්ටික් දුෂණය වළකමු කියන එක තමයි මෙවර පරිසර දිනයේ තේමාව වුණේ.අපි දවසකට මිලියන පහළොවක් ෂොපින් බෑග් පාවිච්චි කරනවා.ඒ වගේම දවසකට අපි කෝටි දෙකක් ලන්ච් ශීට් භාවිත කරනවා.මෙය අපි හරි අඩකටවත් භාවිතය අවම කළොත් පරිසරය සුරක්ෂා කළ හැකියි.

මේ අතර අද ප්ලාස්ටික් කුඩු අද එනවා.අද රූපලාවන්‍යා සඳහා ගන්නා පවුඩර් සඳහාද ප්ලාස්ටික් කුඩු ප්ලාස්ටික් ඩස්ට් යොදා ගන්නවා.අපි නොදැන ජලයේ ප්ලාස්ටික් අංශු තියෙනවා.වතුර බෝතලයක් ගත් විට සියුම් ප්ලාස්ටික් වතුර බෝතලයේ තිබෙනවා.මේ අනුව සියයට අසු පහක් ජල බෝතල් තුළ ප්ලාස්ටික් කුඩු අංශු තියෙනවා. ව්ව්යුගොලයේත් ප්ලාස්ටික් පවුඩර් තියෙනවා.මයික්‍රෝ ප්ලාස්ටික් වායුගෝලයේ තියෙනවා.අපි ආශ්වාස කරනවා.මේක වසංගතයක් වෙලා අද.ප්ලාස්ටික් කියන්නේ මහා විශ්මිත නිර්මාණයක්.අපිට නවත්වන්න පහසු නැහැ.නමුත් ප්ලාස්ටික් භාවිතය අපිට යම් තරමකින් නවත්වන්න පුළුවන් නම් හොඳයි.මොකද ගෙදර පුටුව ප්ලාස්ටික්,ගෙදර දොර ප්ලාස්ටික්,නාන කාමරේ බඩු ප්ලාස්ටික්.හරිම ලාබයි.ඉතින් හැමදේම ප්ලාස්ටික් වලින් නිර්මාණය වෙන්න පටන් අරන්.අද ප්ලාස්ටික් නැතුව බැරි ලෝකයක් වෙලා.ඒ නිසා පරිසරය නිසි ලෙස කළමනාකරණය කරන්න පිළුවන් නම් අපිට ලෝකයේ ඉදිරියට යන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − one =