මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය, බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද වන්දනාවට පාත්‍ර වන සුවිශේෂ ආගමික ස්ථානයකි. වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේදී මෙන්ම වසර පුරා ම වන්දනාකරුවෝ ද දෙස් විදෙස් සංචාරකයෝ ද මඩු දේවස්ථානය කරා ඇදී එති. යුද සමයේ සිදු වූ දැඩි අලාභහානි හේතුවෙන් ද, දිගු කලක් තිස්සේ නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය දුෂ්කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබේ.

මේ පිළිබඳ අව‍ධානය යොමුකරමින් මඩු දේවස්ථානය අවට ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට එම ප්‍රදේශය ආශ්‍රිත ප්‍රවාහන, මහාමාර්ග, සනීපාරක්ෂක, ජල සැපයුම් ආදී පහසුකම් සංවර්ධනයටත්, ප්‍රදේශයේ විශ්‍රාම ශාලා ඇතුළු නවාතැන් පහසුකම් සම්පාදනයටත් පියවර ගැනීමට ජනාධිපතිතුමා විසින් යෝජනාකොට තිබුණි. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා විසින් ඊයේ (31) ඉදිරිපත් කරන ලදුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =