ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්දින තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගත්තේ කඩුලු 05 අතැතිවය.

දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරග 9ක්ම එකපෙළට පරාජයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකා පිල ඉන් ගැලවීමට අද (1) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රි දෙවැනි එක්දින තරගයේදී සියලු සැලසුම් සිදුකර ඇතැයි නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියයි.

ඊයේ පස්වරුවේ දඹුල්ලට හිටිහැටියේ ඇද වැටුණු වර්ෂාව අතරතුර පැවැති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පිලේ නායකයා කියා සිටියේ අද තරගයට මුහුණ දෙන ආකාරය ගැන පසුගිය දින 2දී සිය ක්‍රීඩකයන් සමග බරපතල ලෙස සාකච්ඡා කළ බවය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් සිදු කිරිමට නියමිතය. පෙ‍රේදා පුහුණුවීම් අතරතුර වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර‍ගේ අතෙහි ඇඟිල්ලක ආබාධයක් සිදුවීම නිසා ඔහුට අද තරගය අහිමිවන බව මැතිව්ස් සඳහන් කළේය.

පළමු තරගයේදි අවස්ථාවක් ‍නොලද කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටින සෙසු වේගපන්දු යවන්නෝ වෙති. දෙදෙනාම මීට පෙර එක්දින තරගවලට ක්‍රීඩාකර නොමැත. දෙඑසේ වුවත් අද තරගය ජයග්‍රහණයෙන් නිමා කරගැනීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව බැවින් විස්සයි20 තරග අත්දැකීම් ඇති කසුන් රාජිත කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇත. ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා පිලට එක්වී සිටින්නේ පළමුවරටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *