සුව ඇමති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල අඩු කිරීමට රජය තීරණය කරයි. ජීවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, පුරස්ථී ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිත කරන ඖෂධ, වේදනා නාශක, ස්නායු ගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙලෙස අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙම මිල අඩු කිරීම සිදු කරන අතර 2016 වසරේදී ද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කර රෝගී ජනතාවට විශාල සහනයක් ලබා දීමට ඇමැතිවරයා කටයුතු කළේය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ දී විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඖෂධ 272ක මිල අඩු වී ඇති අතර මෙම ඖෂධ මිල අඩු කිරීමෙන් ඖෂධ මිල දී ගැනීමට වැය වූ මුදලින් රෝගීන් වෙත ලැබුණු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4ක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 900ක් වැය වේ. දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ සංකල්පය යටතේ සෞඛ්‍ය ඇමැතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල අඩු කිරීම සිදු කර තිබේ.

එමඟින් රෝගීන් වෙත සැලකිය යුතු අන්දමේ සහනයක් ලැබී තිබේ. මෙම මිල අඩු කිරීමට ප්‍රථම සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් ඖෂධවල ඉහළ මිල ගණන් නිසා වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ මිල දී නොගන්නා බවට හෙළි වී තිබිණ.

ජීවිතාන්තය දක්වාම ප්‍රතිකාර අවශ්‍ය වන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා මෙම ඖෂධ භාවිත කිරීම අත්‍යාවශ්‍ය වී තිබිණ. කෙසේ වෙතත් ඖෂධ මිල අඩු කිරීමත් සමඟ රෝගීන් විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් නියම කරන ඖෂධ භාවිත කිරීමට පෙළැඹී ඇති බවට වාර්තා වේ.

තත්ත්වයෙන් උසස් වෙළෙඳ නාමයන්ගෙන් යුක්ත ඖෂධ, මිල පාලනය කිරීම නිසා සියයට 600ක ප්‍රතිශතයක් දක්වා අලෙවිය වැඩිවීමත් සමඟ මෙම ගුණාත්මක ඖෂධවල අලෙවිය වැඩි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *