කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන්ට පොහොර ගැනීමට රු. 18,000ක්

(කොළඹ, ලංකාපුවත්) – කාබනික ගොවිතැනේ නියැළෙන ගොවීන් ඒ සඳහා දිරිමත් කිරීමේ පියවරක් වශයෙන් හෙක්ටෙයාර් එකකට රු. 18,000ක මුදලක් කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ලබා දීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ පළමු කෘෂි ආදර්ශ ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ ප්‍රගතිය විමසීම සඳහා සමාලෝචන රැස්වීමක් ඊයේ පස්වරුවේ අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වු අතර එහිදී කාබනික වගාව ව්‍යාප්ත කිරීම හා කහත්තේවෙළ ගම්මානයේ එළවලු හා පලතුරු වගාවන්හිදී හැකිතරම් කාබනික වගාවට ගොවීන් හුරු කරවීමට අවධානය යොමු විය.

දැනට ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සඳහා රජය මෙම වර්ෂයේදී රු. මි. 33,000ක් වෙන් කර තිබේ.

කාබනික වගාවේ දැනට ගොවීන් 5000කට ආසන්න පිරිසක්නියැලී සිටින අතර ඔවුන්ට කාබනික පොහොර මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍යවරයා විසින් පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවිය.

විශේෂයෙන් කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන ලද කාර්යය හා සේවාව ඉදිරියට ගෙනයමින් කාබනික ගොවිතැනෙහි නියැලෙන ගොවීන්ට අදාල මුදල් ප්‍රතිපාදන 2018 මහ කන්නයේ සිට ලබා දීමට පියවර ගැනීමට නියමිතය.

එමෙන්ම කාබනික පොහොර නිපදවන්නන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *