රට තුළ යහපාලනය ස්ථාපිත කිරීමට එජාපය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර තිබෙනවා – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පාක්ෂිකයින් මුහුණ දෙන ගැටළු හදුනාගනිමින් ඒවාට කඩිනම් විසදුම් ලබාදෙමින් ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙනයන වැඩසටහනේ තවත් විශේෂ මහජන නියෝජිත හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (02) පැවැත්වුණි.

ඒ පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සදහා මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන (මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා) ආයතනවල මහජන නියෝජිතයින් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව පෙන්වා දුන්නේය.

කවර බාධක මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති ගම් පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල ප්‍රතිඵල ලබාගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රමුඛ ජනතාවට නොබෝ දිනකින් අවකාශ උදාවනු ඇති බව ද මහ ලේකම්වරයා සදහන් කළේය.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් දියත් කර ඇති ගම් පෙරළිය සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන් පිළිබද ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පැමිණ සිටි මහජන නියෝජිතයින්ට උපදෙස් ලබාදුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පසුගිය සමයේ අක්‍රමවත් බවට හා දේශපාලන හිතවත්කම් මත සහනාධාර ලබාදුන් බවට චෝදනා එල්ල වූ සමෘද්ධි වැඩසටහන නැවතත් යථා තත්වයට පත් කොට ආර්ථික අපහසුතාවලින් සිටින ජනතාවට තවදුරටත් සහන ලබාදීම සදහා පුළුල් අයුරින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින් සදහන් කළේ මෙවැනි හමුවීම් පැවැත්වීම් කාලීන අවශ්‍යතාවක් බවත් එය හදුනාගනිමින් මෙවැනි හමුවීම් සූදානම් කිරීම් පිළිබද පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ස්තූතිවන්ත වන බව පැවසීය.

සිරිකොත ගමට ගෙනයන වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාලන ආයතන නියෝජනය කරන එක්සත් ජාතික පාක්ෂික මහජන නියෝජිතයන් සමග හමුවීම් කිහිපයක් ඉදිරි දින වල දී පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *