වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සදහායි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ අද දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙඳ සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (01) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් මේ රටේ පොඩි මිනිසුන් අපේක්ෂා කළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ යෝධ වැඩපිළිවෙළ රජය දැන් කි‍්‍රයාවට නංවමින් සිටින බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ, නිදහස් සමාජයක සතුටින් ජීවත්වීමට මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් තැබූ විශ්වාසය එළෙසම ඉටුකිරීමට දිවි හිමියෙන් කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා ජනතාවගේ සම්පත් ජනතාවගේම සුබසාධනය සඳහා යෙදවීම ප‍්‍රතිපත්තියක් කොට සළකන බව ද කියා සිටියේය.

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ කඩකාමර 24 කින් යුත් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ අලංකාරවත් සහ අංගසම්පූර්ණ ලෙස ඉදිකර තිබේ.

වෙළෙද සංකීර්ණය සහිත නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස 10 ක යතුරු ප‍්‍රදානය කිරීමට ද එක් විය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ, සාරතී දුෂ්මන්ත, පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාලක කොළොන්නේ, සම්පත් ශ‍්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු රැසක් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරුණු මැදිරිගිරිය බස් නැවතුම්පොළ ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

ඉන් අනතුරුව මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්විය. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. රුපියල් මිලියන 2208 ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12 ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, කි‍්‍රඩාපිටිය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 32 ක් ලබාදීම ඇතුළු විද්‍යාලයේ අඩු පාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ සිසු දරුවන්ගේ ප‍්‍රණාමය මෙහිදී ජනාධිපතිතුමා වෙත පුද කෙරිණි.

මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සදහා ජනාධිපතිතුමා සහභාගී වූයේ ඉන් අනතුරුවයි. එහිදී ද පැමිණ සිටි පිරිස විසින් ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

හිඟුරක්ගොඩ දිස්ති‍්‍රක් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම ද අද ජනාධිපතිතුමා අතින් සිදුවිය. රුපියල් මිලියන 7. 1 ක වියදමින් ඉදිකෙරුණු වකුගඩු රෝග ප‍්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 36 ක වියදමින් ඉදිකෙරුණු විකිරණ හා සංඛයා ලේඛන ඒකක ගොඩනැගිල්ල, රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකෙරුණු දන්ත සායනය හා ශෛල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීම සහ රුපියල් මිලියන 104 ක වියදමින් ඉදිකළ වෛද්‍ය නිලධාරි නිවාස සංකීර්ණය විවෘත කිරීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරු ඇතුළු මැති ඇමතිවරු සහ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටියහ.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිම කළ තවත් සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප‍්‍රමාණයක් ජනගත කිරීම අද දිනය පුරා සිදු විය. හෙට දිනයේ තවත් ව්‍යාපෘති 60 ක් සහ අනිද්දා දිනයේ දී තවත් ව්‍යාපෘති 60 ක් ජනගත කිරීමට නියමිතව තිබේ.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ දක්වා දිස්ති‍්‍රක්කය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්පූර්ණ කර ජනගත කර ඇති අතර 2015 – 2018 දක්වා විවෘත කළ ව්‍යාපෘති සිය ගණනකට වැඩි ප‍්‍රමාණයකට අමතරව මෙම ව්‍යාපෘති 180 වැඩ නිම කර තිබේ, සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6000 කි.

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතින් ජනතා අයිතියට පැවරීමේ උත්සව මාලාවේ දැක ගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විද්වතුන්, කලාකරුවන් වැනි පිරිස් ඒ සඳහා දායක කර ගැනීමයි. මෙම උත්සව අවස්ථාවන් සඳහා මනා ප‍්‍රබෝධයකින් යුතුව දිස්ති‍්‍රක්කයේ ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටී අතර, දේශපාලන බේදයෙන් තොරව මහජන නියෝජිතයින් එම වැඩසටහන් සඳහා එක්වීම සුවිශේෂී විය.

බකමුණ රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල, වකුගඩු රෝගී සායන ඒකක ගොඩනැගිල්ල ඇතුළු සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පවරාදීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාතය පේෂල ජයරත්න, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව හිඟුරක්ගොඩ හතරැස්කොටුව ප‍්‍රාථමික වෛද්‍ය ඒකකයේ රුපියල් මිලියන 7.3 ක වියදමින් ඉදිකළ ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, රුපියල් මිලියන 20 ක වියදමින් ඉදිකළ වෛද්‍ය නිලධාරින් නිල නිවාස, රුපියල් මිලියන 23 ක වියදමින් ඉදිකළ අතුරු වෛද්‍ය ද්විත්ව නිල නිවස විවෘත කිරීම ද අනතුරුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු අතින් සිදු විය.

ගිරිතලේගම මහා විද්‍යාලයේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය දියත් කිරීම සහ නව දන්ත සායනාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩිලාන් පෙරේරා, කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඞී.එම්. සේමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

පල්ලියගොඩැල්ල අන්නුර් මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ සහ නුගගහදමන මුස්ලිම් කණිෂ්ට විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්වරුන් අතින් සිදු විය.

මේ අතර ඇලහැර, පොකුරුගම ජල යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පැවරුනේ අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු යන මහත්වරුන් අතිනි. ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් රැසක සංවර්ධන ව්‍යාපෘති සිසු අයිතියට පවරාදීමට ද අමාත්‍යවරු එක්වූහ.

හිඟුරක්ගොඩ නාගලකන්ද මහා විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ ද්විත්ව ගුරු නිවාසය විවෘත කිරීම මෙන්ම හිඟුරක්ගොඩ පුරාණ රත්මලේ ශී‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තනි මහල් භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීම අමාත්‍ය වසන්ත සේනානායක සහ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරුන් අතින් සිදුවිය.

මේ අතර ඇලහැර, කෝට්ටපිටිය ශ‍්‍රී මිහිදු මහා විහාරයේ අඩක් නිමකරන ලද සංඝාවාසයේ ඉදිකිරීම් ද පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරුණු අතර ඒ සදහා වැය කෙරුනු මුදල රුපියල් මිලියන 3.2 කි. අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ.එම්.පී ඒකානයක යන මහත්වරුන් විසින ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

හිඟුරක්ගොඩ ජයමහ පිරිවෙනේ රුපියල් මිලියන 3.39 ක් වැය කරමින් ඉදිකළ භික්ෂු නේවාසිකාගාර පහසුකම් සහිත දෙමහල් ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරිම ද අද සිදු විය. එම අවස්ථාව සදහා අමාත්‍ය ලකී ජයවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් එක් විය.

කහලගල සහ උණගලා වෙහෙර ප‍්‍රදේශවල ඉදිකෙරුණු ජල සම්පාදන ව්‍යාපෘති 02 ක් ද අද ජනතා අයිතියට පැවරුනේ නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ව්‍යෘපෘති සඳහා වැය කර මුදල රුපියල් මිලියන 126.6 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *