ගොවීන්ට හිගයකින් තොරව ජලය ලබා දීමට පියවර – කෘෂි ඇමති

(කොළඹ, ලංකාපුවත්) – “වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “වැව් දහසක් ගම් දහසක්” යටතේ සංවර්ධනය කෙරුණු 297 වන වැව වන හිඟුරක්ගොඩ කටුකැලියාව පහළ සියඹලාවැව සංවර්ධනය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මීට අමතරව 298 හා 299 වන වැව් වශයෙන් මාතලේ පලාපත්වල ඊරියගොල්ල වැවත්, පල්ලේවෙල බෝවේරුව වැවත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ කෙරුණි.

මෙහිදී ගොවීන්හට කොස්පැළ හා වෙනත් පැළ වර්ග ද, කාබනික පොහොර ද අමාත්‍යවරයා අතින් බෙදා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා- අද සමහර මාධ්‍යවල විකාශය වන ප්‍රවෘත්ති දෙස බැලුවහොත් මේ රටේ තිබෙන්නෙම ප්‍රශ්න විතරයි. සංවර්ධන කටයුතු කිසිවක් සිදු කරන්නේ නැහැ කියලයි මහජනතාවට හිතෙන්නේ.

අපේ රටේ වැව් පද්ධතිය තුළ වැව්, අමුණු 27000ක් පමණ තිබෙනවා.ඉන් විශාල ප්‍රමාණයකට කිසි දිනෙක අලුත්වැඩියාවක් සිදුවී නැහැ. ගම්වාසීන් අපෙන් ඉල්ලා සිටින්නේ අපේ වැව් ටික හදලා දෙන්න. ඉතිරි හරිය අපි බලාගන්නම් කියලයි. ඒ නිසා මෙම වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය විතරක් රු. මි. 3500ක පමණ මුදලක් වැව් සංවර්ධනය සඳහා යොදවනවා.

වැව් පද්ධතියේ සංවර්ධනය කිරීම තුළ වැව සකස් කිරීම, වැව් කණ්ඩිය ශක්තිමත් කිරීම, කට්ටකඩුව, වැව් තාවුල්ල, යටිගං සංවර්ධනය මෙන්ම වැව් යටතේ තිබෙන කෘෂි පාරවල් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයත් අපි සිදුකරනවා. ඒ නිසා තමයි අපි මේ වැඩසටහනට “වැව් දහසක්- ගම් දහසක්” කියලා නම් කළේ.වැවක් කියන්නේ පරිසර පද්ධතියක්. ඒක අපේ පරිසරයේම කොටසක්. ගම්වල මිනිස්සු කියන්නේ යලෙන් වැහැලා හරි , මහෙන් වැහැලා හරි අපිට වැව් පිරුණොත් ඇති කියලයි. ඒත් පසුගිය කාලය තුළ පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් හැදුනට ගමේ වැව හැදුනේ නැහැ. වැව්වල දැන් වල් පැළැටි පිරිලා. වැව් සියල්ලම මඩවලින් ගොඩවෙලා. වැහි ඇල්ලක් දෙකක් වැටුනාම වැව වාන් දානවා වගේම සතියක් දෙකක් පෑව්වොත් වැව හිඳෙනවා.

ඉතින් ගම්මු කියන්නේ අපිට වගා කරන්න වතුර ටික දෙන්න කියලයි. අපේ රටේ ගොවිතැන ගැන දන්න නායකයෙක් පත්වුණ නිසා තමයි අද අපිට මේ වැව් ටික හදාගන්න මුදල් ලැබුණේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගොවි පුතෙක්. එතුමා දන්නවා ගමේ ජනතාවට අවශ්‍ය මොනවාද කියලා.

අද සමහරු අහන්නේ අපි මොනවාද කළේ කියලා. අපි අහන්නේ අපි මොනවාද නොකළේ. මේ ආණ්ඩුව තරම් මහජනතාවට සහන දුන්න තවත් ආණ්ඩුවක් තියෙනවාද, ගොවි ජනතාවට සහන සැලසීමට පසුගිය වසර තුන තුළ අතිවිශාල මුදලක් අපි ලබා දුන්නා. නියං සහනාධාර, ගංවතුර ආධාර, කෘෂි රක්ෂණය, පොහොර සහනාධාරය ආදි එම කටයුතු සඳහා රු. මි. ලක්ෂයකට වඩා මුදලක් අපි ලබා දුන්නා.ඒක කරුණු ඇතිවම ඔප්පු කළ හැකි බව දඅමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, ගොවිජන කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. බී. වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *