ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද(06) සිදු කෙරේ.

පස්වරු 3.00ට බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදු වේ.

මෙම තිරසාර කතිකාව ජනගත කිරීමේ අවස්ථාව දේශපාලන උත්සවයක් නොවන අතර පක්ෂ විපක්ෂ සියළු දෙනාට ඒ සඳහා ආරාධනා කොට ඇතැයි තිරසර සංවර්ධන කමිටුවේ ලේකම් හා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙතෙක් කලක් අපේ රටේ දැඩි ඉල්ලුමක් තිබුණා. එහෙත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතීම නිසා මෙසේ වෙනස් නොවන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මනා පසුබිමක් සකස් වී ඇති බවද ජනාධිපති ලේකම්වරයා පැවසී ය.

ආර්ථික සංවර්ධනය, පරිසර සංවර්ධනය හා සමාජ සංවර්ධනය ඔස්සේ තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපාය මාර්ග රැසක් මෙම කතිකාවට ඇතුලත් කොට තිබේ. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වීමේ අභියෝගය හමුවේ නොවෙනස් තිරසර ප්‍රතිපත්ති සම්පාදන කිරීමේදී නාගරීකකරණය , අධ්‍යාපනය ,කෘෂිකර්මය , ප්‍රවාහනය , සෞඛ්‍ය ආදී සියළු අංශ වල පවතින අභියෝග පිළිබඳව මෙම කතිකාව මගින් සාකච්ඡා කොට ඇති බවද පැවසූ, උදය ආර් සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන එය තවදුරටත් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

මේ සඳහා ඉදිරි මාස 03 ඇතුළත විද්වතුන්,කලාකරුවන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා සෙසු මහජනතාවගෙන්ද අදහස් හා යෝජනා ලබා ගනු ඇත.

වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය , සෘජු තැපැල් හා දුරකථන මාර්ග ඔස්සේ ජනතාවට මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *