මධ්‍යම අධිවේගයේ දෙවන අදියරේ ඉදිකිරීම කඩිනම් කරන්න – ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් දියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදුවේ.

ඉදිකිරීම් කාර්යක්‍ෂම කිරීම සදහා කොන්ත්‍රාත් පැකේජ 04ක් යටතේ එක් පැකේජයකට දළ වශයෙන් කිලෝමීටර් 10ක් පමණ වන සේ වෙන් වෙන්ව කොන්ත්‍රාත් පිරිනමා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.9ක් දිවෙන අතර නාකලගමුව, දම්බෝක්ක‍, කුරුණෑගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හතරකින් එම කොටස සමන්විතය.

රුපියල් බිලයන 149ක වියදමින් දේශීය සමාගම්වල සේවා දායකත්වය ලබා ගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙය වීම මත ඉදිකිරීම් සිදු කරයි.

මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්වය වන්නේ අදාළ ආයෝජන සිදු කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය පමණක් වීමයි. මෙම කොටසේ සම්පූර්න ඉදිකිරීම් සහ ඉදිකිරීම් උපදේශනය පළමුවරට ක්ෂේත්‍රෙය් ප්‍රමුඛතම දේශීය ව්‍යාපාරික ආයතන සදහා ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *