ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන් අසු හතරදහසක පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය නිලධාරීන් අසුහතර දහසක් පමණ දෙනා මේ වන විට ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර (LGN2.0) සදහා නිල වශයෙන් ලියාපදිංචි වී සිටින බව අනාවරණය වේ.

කාර්යක්ෂම පුරවැසි සේවාවන් සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම කඩිනම් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පලමු අදියර යටතේ රාජ්‍ය ආයතන 860 ක් එකිනෙකට සම්බන්ධ කෙරේ.

මේ බව අනාවරණය වුයේ රාජ්‍ය ආයතනයන්හි ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යෑම සදහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා දිවයිනේ පළාත් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර තිබෙන වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුවේදීය.

මෙම වැඩමුළුව බස්නාහිර පළාතේ තෝරාගත් රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කර තිබේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට ජාල ගත කර තිබේ.
ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම මෙම ව්‍යාපෘතිය පිලිබද පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙක් වශයෙන් පත්කිරීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය ඇමතූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා:

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ පළමු සංස්කරණයේදී රාජ්‍ය ආයතන 550ක් පමණ ජාල ගත වුණා. දෙවන සංස්කරණයේ පළමු අදියරේදී එය 860 දක්වා වැඩිවුණා.මෙම ව්‍යාපෘතිය නිමාවන විට රාජ්‍ය ආයතන 3500ක් පමණ සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා. එසේම ව්‍යාපෘතිය ආරම්භයේදී ලබා දී තිබෙන දත්ත හුවමාරු කිරීමේ වේගයන් සහ ධාරිතාවයන් අවශ්‍යතාවයන් මත ඉදිරියේදී වැඩිකිරීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී ලංකා රාජ්‍ය මේඝයෙහි (Lanka Government Cloud ) දත්ත ගබඩා කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට අපේක්ෂා කරනවා.

මෙම සම්මන්ත්‍රණය ඇමතූ විදුලි සංදේශ ඩිජිටල් යටිතල් පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් රුද්‍රිගූ මහතා: විශේෂයෙන් සදහන් කරන්න ඕනේ මෙම ව්‍යෘපෘතිය සදහා විශාල වශයෙන් මහජන බදු මුදල් වැය කර තිබෙනවා. එහෙම නම් මෙහි ප්‍රතිලාභයන් පුර්ණ වශයෙන් ජනතාව වෙත ලබාදීමේ වගකීමක් සහ යුතුකමක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරී තිබෙනවා. අපි පාවිච්චි කරමින් තිබෙන ජංගම දුරකථනයක් පරිගණකයක් ටැබ් එකක් වෙනුවට අළුත් දෙයක් ගත් වහාම අපට යම් නුහුරු බවක් දැනෙනවා. ඒත් ටික කලක් යන විට අප ඊට හුරු වෙනවා. මෙම ව්‍යපෘතිය ගැනත් එහෙම සිතා වැඩ කරන්න කියා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට මතුවන ගැටලු සදහා හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට තම ආයතනය නිරන්තර සුදානමෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු චින්තක ඒකනායක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉෂාරී සිරිවර්ධන බුද්ධික ද අල්විස් යන මහත්ම මහත්මීන්ද මෙහිදී සම්මන්ත්‍රණය ඇමතූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *