අධිකරණයට අපහාස කළා කියන චෝදනා පිළිගන්නේ නැහැ – ඇමති රංජන් කියයි

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කළ බවට එල්ල කර ඇති චෝදනා තමන් පිළිනොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(08) ප්‍රකාශ කළේය.

මෙම චෝදනා පත්‍රය අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුම් ලැබීය.

එහිදි වගඋත්තරකාර රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ එම චෝදනා තමන් පිළිනොගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනා පත්‍රය විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාල සාක්ෂි සැප්තැම්බර් මස පස්වන දා සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද නීතිපතිවරයාට නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර
තිබුණි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පැමිණිලිවලින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් වසරේ අගෝස්තු මාස 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බවට ජනමාධ්‍ය වලට ප්‍රකාශයක් කර ඇති බවයි.

මේ තුළින් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ හරහා ඔහු අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර ඇති බවත් මේ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ප්‍රකාශයට අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බැලූබැල්මටම ඉන්අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට තීන්දු කිරීම නිසා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කෙටුම්පත් ආඥාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + four =