දහඅට සන්නියේ මුද්දර 18ක් නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දහඅට සන්නියේ වෙස් මුහුණු සහ අවස්ථා නිරූපනය වන රුපියල්15යන වටිනාකමින් යුත් මුද්දර 18 ක් හා සිහිවටන පත්‍රිකා 03ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් අද(08) දින නිකුත් කරනු ලැබීය.

තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණි.

ලෝකයේ විවිධ ජන ඇදහිලි විශ්වාස මුල්කොට ව්‍යාප්තව ගිය වත්පිළිවෙත් බොහෝය. ස්වාභාවික ලෝකය තේරුම් ගැනීමට අපහසු ප්‍රාථමික මිනිසා කිසියම් අදෘශ්‍යමාන පිරිසක් මඟින් නොයෙක් දුක් කම්කටොලු, ව්‍යාධි ඇති කරවතැයි සිතූයෙන් ඉන් මිදීම සඳහා විවිධ වත්පිළිවෙත් පැවැත්වූහ. ඒ හැරුණු කොට මළවුන් පිදීම මුලික කොට පැවති වත්පිළිවෙත් රාශියක් ද විය. ඒවා මියගිය පුද්ගලයාගේ තේජස, ශක්තිය, ආශීර්වාදය යනාදිය මෙලොව ජීවත් වන්නවුන්ගේ ලෞකික අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ අභිලාෂයෙන් සිදු කෙරිණි. එවැනි වත්පිළිවෙත් ශ්‍රී ලාංකිකයන් අතර ද අතීතයේ සිට පැවැතිණ. එවන් ඇදහිලි, විශ්වාස, වත්පිළිවෙත්, කාලයාගේ ඇවෑමෙන් දෙවියන්, යකුන් හා ග්‍රහයන් උදෙසා ප්‍රචලිත විවිධ ශාන්තිකර්ම විශේෂයන් බවට පත්ව තිබේ. ඒවා ප්‍රදේශගතව හා පළාත්බදව විවිධ නර්තන සම්ප්‍රදායයන්වලට අනුගතව උඩරට, පහතරට, සබරගමු යනුවෙන් මූලික ප්‍රභේද තුනකින් පවතී. පහතරට නර්තන සම්ප්‍රදායයේ යකුන් උදෙසා පවත්වනු ලබන යක් තොවිල් බොහොමයක් පවතී. ඒ අතර සන්නියකුම් යාගයට මුලික ස්ථානයක් හිමි වේ.සන්නියකුමේඋපත (ලිච්ඡවී රජ පරපුර හා සම්බන්ධ වේ.) සංෂිප්තව මෙසේය.

ලිච්ඡවී රාජවංශයට අයත් සංඛපාල රජුගේ බිසව අසූපාල කුමරිය නම් විය. කුමරිය සමඟ විවාහ වී නොබෝ කලකින් රජුට කුරුරට යුද්ධයකට යෑමට සිදු වූ අතර ඒවන විට බිසව ගැබ්ගෙන සිටියත් රජූට දැන ගැනීමට තරම් කාලයක් නොවීය. බිසවට මී අඹ කෑමේ දොළක් උපන් අතර ඇය ඒ බව මහ ඇමතිට දැනුම් දුන්නාය. එකල මී අඹ අවාරය විය. මුළු නුවර පුරාම සෙවූ මුත් මී අඹ නොලැබුණු අතර අකලට හටගත් මී අඹයක් සොයා ගත් මහ ඇමති විසින් බිසවට ගෙනත් දුන්නේය. එකල්හිම රජ මැඳුරේ සේවිකාවක් ද ගැබ් ගෙන සිටි අතර ඇයට ද, අඹ කෑමේ දොළක් ඇතිව සිටි අතර බිසව මී අඹ බුදිනු දුටු ඇය තමාට ද, අඹ කැබැල්ලක් ඉල්ලා සිටියා ය. මී අඹ කෑමේහි ලොල් බිසව ඇයට අඹ ඇටය වත් නොදී තනිවම මී අඹ කෑවාය. ද්වේශයට පත් ඇය බිසව කෙරේ වෛරයෙන්, ඇගෙන් පළි ගැනීමට ඉටා ගත්තාය.

ඒ අතර කුරුරට යුද්ධයෙන් ජය ගෙන රජ මාලිගය කරා එන සංඛපාල රජු පෙරමඟට ගිය දාසිය “ඔබ වහන්සේ නැති අතර තුර අග බිසව මහ ඇමති හා අනාචාරයේ යෙදී දරු ගැබක් හට ගෙන ඇතැයි” බොරු බස් පවසා රජු සිත් බිඳවුවා ය. බිසවගේ දරු ගැබ දුටු රජු ද එය සත්‍යයකැයි සිතා මහත් උදහසට පත්ව බිසව මරා දැමීමට අණ කළේය. බිසව තමාගේ නිර්දෝෂිභාව කියා පෑමට කොතෙක් උත්සාහ කළද, ඒ කිසිවකට කිසිත් ඉඩක් නොතබා වධකයින් කැඳවූ රජු ඇය අමු සෙහොනට ගෙන ගොස් එල්ලා දෙපළු කර දැමීමට අණ කළේය. වධකයෝ දබිසව ගෙන ගොස් අමු සෙහොනේ පුබ්බේරිය ගසක එල්ලා දෙපළු වී යන ලෙස කඩුවෙන් ගසා මරණයට පත් කළහ. පළු දෙකින් එක් පළුවක් ගසමුල වැටුණු අතර කුස තුළ සිටි කුමරායාගේ පින් මහිමය නිසා අනෙක් පළුවද බිමට කඩා වැටී පළු දෙක එකට හා වී නිරුපද්‍රිතව කුමරා බිහිවිය. බිහි වූ කුමරාට කෑමට බීමට යමක් නොවූයෙන් මවගේ ලේ බොමින්, මස් කමින් වැඩෙන්නට විය. මස් කෑම නිසා කුමරුට කුරිරු වෙසක් මැවුනි. වැඩි වියට පත් කුමරු නිවැරැද්දේ තම මව මැරූ පළිය පියාගෙන් ගනිමැයි සිතා, කැලයේ තිබූ විෂ ගෙඩි හා කොළ ගුලි 18 ක් සාදාසන්නි යකුන් 18 දෙනෙකු මවාගෙන විසල් පුරයට වැද ලිච්ඡවි පුරය වනසන්නට පටන් ගත්තේය.

කුමරු, ප්‍රධාන සන්නි යකා හෙවත් මරු සන්නිය බවටත්, පිරිවර 18 දෙනා සන්නි දහඅට වූ බවත් කියැවේ.විශාලා මහනුවරට තුන් බිය පැමිණීමෙන් අනතුරුව රතන සුත්‍රය දේශනා කොට යකුන් දුරු කොට විසල් පුර තුන් බිය දුරු කළහ.

සන්නි යකුම් යාගය ද ප්‍රාදේශිය වශයෙන්සම්ප්‍රදායයන් තුනකි. බෙන්තර, මාතර හා රයිගම යනුවෙන් පුජාවිධි රටා දැකිය හැකි වේ. රයිගම ගුරුකුලයපුජා විධි අතින් බෙන්තර ගුරුකුලයට සමාන බවක් දැක්වුවද නර්තන විලාස, සැරසිලි ඇඳුම් පැළඳුම් හා සංවාද මඟින් ගම්මඩු යාගයට හා සමානව ඉදිරිපත් කරනු ඇත.එතකුදු නොව මාතර ගුරුකුලයේ දී ඔවුනොවුනට ආවේනික රංග ශෛලියෙන් හා සංවාද භාවිතයෙන් ඉදිරිපත් කරනු ලබයි.

මෙම අවස්ථාව අමතමින් තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා මෙසේ පැවසීය.

“ලංකාවේ අනන්න්‍යතාවය ලෝකය වෙත රැගෙන යාමට කටයුතු කරන තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙවර ලංකාවේ පවතිනපුරාණයේ සිට පැවතගෙන එන සාන්ති කර්මයන් පිළිබඳව ලෝකයේ අවදානය ලංකාව වෙත යොමුකර ගැනිම සඳහා දහඅට සන්නිය අදාල වෙස්මුහුණු වලට අදාල මුද්දර 18ක් නිකුත් කිරීම මෙන්ම සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කිරිමට කටයුතු කිරිම කැපීපෙනෙන කටයුත්තක් වෙනවා.“

“එම සාන්ති පැවැත්වීමේදී හාසය රස මෙන්ම ඇදුම්පැළදුම් හා වෙස්මුහුණු සම්බන්ධ විමෙන් ඉතා අලංකාරයක් ගෙන ඇති බව මා දන්නවා. ලංකාවට ආවේනික වු මෙම සාන්ති කර්ම දහඅට සම්බන්ධව මුද්දරයන් එළිදැක්විමට ලැබිම මා හට ලැබුණු මහැගි භාගයක් ලෙස මුලින්ම කියා සිටීමට කැමැතියි. තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලාංකීක ජනතාව හා බැදි පවතින මෙම සාන්ති කර්මයන් හි වෙස්මුහුණු රූප රැගත් මුද්දරයන් එළි දැක්විම නිසා ජනතාවගේ නොමද ප්‍රශංසාවද ලක්වෙන්න පුළුවන් වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 15 =