ඉම්රාන් ඛාන්ගේ දිව්රුම් දීමේ උත්සවයට කපිල් දේව්ට, ගවස්කාර්ට හා මෝදිට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු මැතිවරණය ජයගත් ඉම්රාන් ඛාන් මීළඟ පකිස්තාන අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය.

දිව්රුම් දීමේ උත්සවය ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකට ද ආරාධනා කර ඇති බව ටෙහ්රීක් ඉ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශක ෆවාඩ් චෞද්රි පවසයි.

ඉම්රාන් ඛාන්ගේ සමකාලීන ක්‍රීඩකයන් වන හිටපු ඉන්දීය නායක කපිල් දේව්, සුනිල් ගවස්කාර් සහ නවජොට් සිං සිධු එම ආරාධිතයන් අතර සිටින බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ. මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාටද ඇරියුම් කර ඇති බව වාර්තා වේ.

කපිල් දේව් සහ ඉම්රාන් ඛාන් 80 දශකයේ ලොව දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනා අතර සිටි ක්‍රීඩකයන් වන අතර ඔවුන් දෙදෙනා දිගුකාලීන මිතුරන් වේ. ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්වීමෙන් පසු ඔහුට සුභපැතූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද කපිල් දේව්ය.

පකිස්තානය හා ඉන්දියාව අතර ඉතිහාසය පුරා දේශසීමා ගැටලුව හේතුවෙන් යුදමය අර්බුද මෙන්ම දේශපාලන අර්බුද ද ඇති වූ අතර දෙරට අතර ප්‍රධාන සබඳතාවය බවට පත්ව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. කෙසේ වෙතත් දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ මීට වසර 11 කට පෙර වන අතර වත්මන් ඉන්දීය කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් පකිස්තානය සමග ටෙස්ට් තරගයක් ක්‍රීඩාකොට ඇත්තේ දිනේෂ් කාර්තික් සහ ඉෂාන්ට් ෂර්මා පමණි.

ඉම්රාන් ඛාන් මැතිවරණයෙන් ජය ගත්තද ඔහුට ගමන් කිරීමට ඇත්තේ මල් මාවතක නොවේ. අගමැති තනතුර ඔහුට කටු ඔටුන්නක් වනු ඇති අතර කෙසේ වෙතත් 1996 ඔහු දේශපාලනයට පැමිණි දිනයේ පටන් විඳි අත්දැකීම් අනුව ඔහුට එය එතරම් දුෂ්කර කාර්යයක් නොවනු ඇත.

ඉන්දු-පකිස්තාන් දේශපාලන අර්බුද හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව දෙරට අතර සබඳතා යම් පමණකින් හෝ ආරක්ෂා කිරීමට සමත් වූ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාව හරහා දෙරටේ දේශපාලන අර්බුද යම් ප්‍රමාණයකට හෝ සමනය කිරීමට හැකි වනු ඇත. ඒ සඳහා ඉම්රාන් ඛාන් සිය දිව්රුම් දීමේ උළෙලට හිටපු ඉන්දීය ක්‍රීඩකයන්ට ආරාධනා කිරීම ප්‍රබල ආරම්භයක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *