හමුදා සාමාජිකයින්ට දුම්රිය රියැදුරු නියාමක පුහුණුව

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාවේ සාමාජිකයන් පිරිසකට දුම්රිය රියදුරු නියාමක සහ මෙහෙයුම් මැදිරියේ කටයුතු පිළිබඳ පුහුණුව ලබාදෙන ලෙසට යුද්ධ හමුදාව මඟින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඉදිරියේදී එම පුහුණුව හමුදාවට ලබාගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අ‍බේසිංහ මහතා කියා සිටියේ දුම්රිය සේවකයන් දිගින් දිගටම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් මහජනතාව හා මගීන් දැඩි පීඩාවකට පත්වන අයුරින් කටයුතු කිරීම නිසා රාජ්‍ය අංශයේ බොහෝ කටයුතුවලට බාධා සිදුවන බැවින් එවැනි අවස්ථාවල හමුදාව යොදා දුම්රිය ධාවනය සහ සෙසු කටයුතු සිදුකිරීමට අදහස් කර ඇති බවයි.

තවද මෙම අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරිපත් කර හමුදා සාමාජිකයින් තෝරා ඔවුන්ට එම පුහුණුව ලබාදීමට අදහස් කර ඇති බවත් හෙතෙම කීය.

ඒ අනුව එසේ අනුමැතිය ලැබූ පසු ඉතා කෙටි කාලයක් තුළ එම පුහුණුව ලබාදීමට අදහස් කෙරේ.

රටේ විවිධ ආපදා හා වෙනත් බොහෝ අවස්ථාවලට මුහුණදිය හැකිවන පරිදි විවිධ අංශවල පුහුණුව මේ වනවිට යුද හමුදාවේ සාමාජිකයින් දහස් ගණනකට ලබාදී තිබේ.

ඒ අනුව දුම්රිය ධාවනය සිදුනොවන අවස්ථාවකදී එම කටයුතු ද හමුදාව මඟින් සිදුකිරීමට ශක්තියක් ඇති නිසා හමුදා සාමාජිකයින්ට දුම්රිය රියදුරු පුහුණුව නියාමක සහ මෙහෙයුම් මැදිරි පුහුණුව ලබාදෙන ලෙසට මීට මාස කිහිපයකට පෙර යුද හමුදාව මඟින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් එම ඉල්ලීම කර තිබේ.

මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය එම යෝජනාව කෙරෙහි අවධානය යොමුකර ඒ සම්බන්ධව සාකච්ඡා කෙරෙමින් පවතින බවද වාර්තා වේ.

ඒ අනුව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ එම පුහුණුව ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබුණහොත් හමුදා සාමාජිකයින් දහසකට හෝ ඉන්දියාව වැනි රටකට ගොස් එම පුහුණුව ලබාදීමට හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *