උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක් 16වනදා ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 16 දින දවස පුරා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යාපනය මහ රෝහල් භූමියේ ඉදිකිරිමට යෝජිත පුනරුත්ථාපන රෝහල් සංකීර්ණය සදහා මුල්ගල් තැබෙන අතර එය රුපියල් මිලියන 530 ක කොරියානු ආධාර යටතේ ඉදි කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ යාපනය මහ රෝහල් භූමියේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය ද මෙදින විවෘත කිරිමට නියමිතය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනය නව ඔසුසල යාපනය රෝහල් භූමියේ විවෘත කිරිමට කටයුතු යොදා ඇත. මෙතෙක් මෙම ඔසුසල යාපනය නගරයේ වෙනත් ස්ථානයක කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබිනි. යාපනය චාවකච්චේරිය මුලික රෝහලේ ඉදිකරන ලද රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ගැටලු හදුනා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී මෙදින පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථා සදහා උතුරු පළාතේ මහජන නියෝජිතයින් සියලු දෙනාටම ආරාධනා කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *