මගී ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයට නව නීතියක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ බලපත්‍ර නිකුත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

2018 ජුලි 26 වැනි දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයකින් නව නීතිය බලාත්මක කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නව නීතිය දැනට මගී ප්‍රවාහන කුලී ත්‍රිරෝද රථ සේවාවේ නියුතු රියදුරන්ට බල නොපාන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඒ අනුව, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ධාවනයට නව රියදුරු බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයින් අයි.ආර්.සී. හෙවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු නොවන බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ ත්‍රිරෝද රථ පුහුණුව සඳහා රුපියල් 2000ක ගාස්තුවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

එවැනි පුද්ගලයෙකු අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි කර ඇත්නම්, පොදු සේවා ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස ක්‍රියා කිරීමට සුදුසුකම් නොලබන බව, ගැසට් පත්‍රයේ සඳහන්වේ.

පසුගිය වසර ගණනාවක දත්ත පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ දිවයින පුරා සිදුවූ විවිධ අපරාධවලට ත්‍රිරෝද රථ රියදුරන් සෘජුව හෝ අනියම් ආකාරයෙන් හෝ සහය දක්වා තිබෙන බවයි. මංකොල්ලකෑම්, හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ගණිකා ජාවාරම් ඇතුළු විවිධ අපචාර ක්‍රියා සඳහා ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සෘජු සබඳතා පවතින බවට පොලිස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *