මත්අපරාධ මඬින්න පොලිසියෙන් ඒකක 25ක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යටතේ මෙම විශේෂ ඒකක 25 ක්‍රියාත්මක කෙරෙන අතර විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය පමණක් එම විශේෂ ඒකකවල මෙහෙයුම් සිදු කරනු ලබයි.

තවද මීට අමතරව රට පුරා දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැඟවී සිට ජාවාරම් කරන සියලු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමටද තීරණය කැර ඇති බව නීතිය සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට පසුගිය කාලය තුළ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයද පොලිසියද, විශේෂ කාර්ය බළකායද සිදුකරන ලද මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද ඇමැතිවරයා පවසයි.

ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තුවන මත්ද්‍රව්‍ය වැටලීම්වලට පමණක් හමුදාව යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වේ.

කෙසේ හෝ මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් තුරන් කිරීම රජයේ අරමුණ වී තිබේ. විවිධ මත්පෙති වර්ග, ටොෆි සහ වෙනත් විවිධ ආකාරයෙන් පිට පළාත්වල මෙන්ම කොළඹද පාසල් අතරට මත්ද්‍රව්‍ය භාවිතා කරවීමට ජාවාරම්කරුවෝ දැඩි උත්සාහයක යෙදී සිටිති.

මේ නිසා නව ඒකක 25 යටතේ ලබන පාසල් වාරයත් සමඟ ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම්කර ඇති බවද ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *