මැති ඇමැතිවරුන්ගේ නම් විකුණා විදේශ රැකියාවලට මුදල් එකතුකරන්නන් ගැන දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ වෙනත් කිසියම් ඇමැතිවරයෙක්ගේ නම් විකුණමින් විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගන්නා පුද්ගලයින් ගැන තොරතුරු ලබාදෙන ලෙසත් එවැනි වංචනිකයින්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අගමැති ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්ගේ සමීපතයෙක් බව කියමින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් අය කිරීමේ සිද්ධීන් වාර්තා වෙනවා. අගමැතිවරයාගේ ලේකම්වරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එකතු කරමින් සිටියදී අත්අංගුවට ගෙන තිබෙනවා. රටේ ඕනෑම තැනක ඕනෑම පුද්ගලයෙක්ට විදේශ රැකියා සදහා පිටත්වයාමට තිබෙන නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් විදේශ ගත විය යුතුයි. ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ ගතවීම අනිවාර්යයි.

කිසිම අවස්ථාවකදී තැරැව්කරුවන්ගේ හෝ මුදල් ගසාකන වංචාකරුවන්ට හසුවෙන්න එපා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ,විශය භාර ඇමැතිවරයා ලෙස හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ, නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මගේ හෝ වෙනයම් කිසිම ඇමැතිවරයෙක්ගේ නම පාවිච්චි කරලා මුදල් අය කරගෙන රට යෑම් සදහා කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඒවා වංචා සහගත ක්‍රියාවන්. මේ වගේ අයට විරුද්ධව අපි නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

විදේශ රැකියා සදහා පිටත්වයාමේදී තැරැව්කරුවන්ට මුදල් ලබාදිය යුතු නෑ. ජපානය, ඊශායලය හෝ කොරියාව සදහා රැකියා ලබාදීමේදී කිසිදු තැරැව්කරුවෙක්ට මුදල් ලබාදීමට අනුමැතියක් ලබාදී නැහැ. යම් අවස්ථාවකදී මුදලක් අය කරනවා නම් අය කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත මුදල පමණයි. එයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩිවියෙන් බලාගැනීමට හැකියි.

තවදුරටත් ජනතාවගේ නොදැනුවත්භාවය නිසා ජනාධිපතිවරයාගේ,අගමැතිවරයාගේ හෝ වෙනත් කිසියම් ඇමැතිවරයෙක්ගේ නම් විකුණාගෙන කවුරුන් වංචනික ක්‍රියාවල යෙදෙනවා නම් ඒ පිළිබද අපිට තොරතුරු ලබාදෙන්න. ඒ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

අම්පාර උහන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙනත් ප්‍රදේශවලින් මේ ආකාරයට මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ සියල්ලම සම්බන්ධයෙන් අපි නඩු පවරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 7 =